උතුරු පළාත් මැතිවරණයට පෙර සිවිල් පාලනය ඇති කළ යුතුයි
- විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ යාපනයේදී කියයි

උතුරු පළාත් මැතිවරණයට පෙර එහි සිවිල් පාලනය ඇති කළ යුතු බව විපක්‍ෂ නායක සහ එක්‌සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (25 වැනිදා) යාපනයේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

එම මාධ්‍ය හමුවේදී රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් මෙසේද කීවේය.

උතුරු පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නම් එක්‌සත් ජාතික පක්‍ෂය ලෙස ඊට ඉදිරිපත් වී තරග කිරීම සඳහා මූලික සංවිධාන කටයුතු ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වනවා. ඒ වගේම යාපනය ඇතුළු උතුරු පළාතේ උද්ගතව තිබෙන වත්මන් වාතාවරණය පිළිබඳව ආගමික නායකයන්, අනෙකුත් දේශපාලන පක්‍ෂ සහ සිවිල් සංවිධාන සමග සාකච්ඡා කිරීමට අප බලාපොරොත්තු වනවා. මේ අරමුණු ඉටුකර ගැනීම සඳහා මේ දින හතර තුළ යාපනය, කිලිනොච්චිය, වව්නියාව සහ මන්නාරම යන ප්‍රදේශවල අපි සංචාරය කරනවා.

අද උදැසන මේ ප්‍රදේශයට පැමිණීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා මුණගැසී සාකච්ඡා කිරීමට අපට හැකි වුණා. සවස අපේ පක්‍ෂයේ සාමාජිකයන් සහ අනෙකුත් සංවිධාන හමුවී උතුරේ වත්මන් වාතාවරණය පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.

උතුරු පළාත් සභාව සඳහා එක්‌සත් ජාතික පක්‍ෂය තරග කිරීමට තීරණය කර තිබෙනවා. උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි. පළාත් සභා අටක ඡන්දය පවත්වා උතුරු පළාතේ පමණක්‌ ඡන්දය නොපැවැත්වීම පිළිබඳ අප ප්‍රශ්න කළා. ඒ වගේම කඩින් කඩ ඡන්ද පැවැත්වීමට අපි විරුද්ධ බව කිව යුතුයි. කඩින් කඩ මැතිවරණ පැවැත්වීමේදී බලපෑම් එල්ල කිරීමට තිබෙන හැකියාව වැඩියි. ඇත්ත වශයෙන්ම අපට අවශ්‍ය වී තිබෙන්නේ ආණ්‌ඩු මාරු කරන ඡන්දයකුයි. ඒ නිසා සැප්තැම්බර් මාසය අවසන් වීමට ප්‍රථම මේ උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව අප අවධාරණය කර සිටිනවා. අපේ මතය වී තිබෙන්නේ මේ මැතිවරණය ඉක්‌මනින්ම පැවැත්විය යුතුබව වන අතර ඒ නිසා අගෝස්‌තු, සැප්තැම්බර් වන තෙක්‌ බලා සිටිය යුතු නැහැ.

මේ පළාත් සභා මැතිවරණයට තරග කිරීම සඳහා එක්‌සත් ජාතික පක්‍ෂය වෙනමම අපේක්‍ෂකයන් තෝරාගනු ලබන අතර විශේෂයෙන් මේ මැතිවරණය පිළිබඳව කරුණු හතරක්‌ සඳහන් කළ යුතුව තිබෙනවා.

පළමුව මේ උතුරු පළාත් සභා මැතිවරණය හෝ වෙනත් මැතිවරණ පැවැත්වීමට ප්‍රථම ස්‌වාධීන පොලිස්‌ කොමිසම, ස්‌වාධීන මැතිවරණ කොමිසම, ස්‌වාධීන රාජ්‍ය සේවා කොමිසම සහ ස්‌වාධීන අධිකරණ සේවා කොමිසම පත් කිරීමට ආණ්‌ඩුවට යුතුකමක්‌ තිබෙනවා. ආණ්‌ඩුව විසින්ම ඉදිරිපත් කළ එල්එල්ආර්සී වාර්තාව මගින් ද මේ කොමිෂන් සභාවන්හි අවශ්‍යතාව පෙන්වාදී තිබෙනවා. එබැවින් මෙම කොමිෂන් සභා පත් කිරීම සඳහා අදාළ ව්‍යවස්‌ථා සංශෝධන කෙටුම්පත් මැයි මාසය තුළදී ඉදිරිපත් කරන්නැයි අප ආණ්‌ඩුවෙන් ඉල්ලා සිටිනවා. එමගින් ආණ්‌ඩුවේ හොඳ හිත පිළිබිඹු කළ හැකියි.

මේ වන විට යාපනයේ නීතියේ ආධිපත්‍යය නැති වී තිබෙනවා. ගියවර යාපනයේ මා සංචාරය කළ අවස්‌ථාවේදී සිදුවූ සිද්ධිය මට සිහිපත් වෙනවා. ඒ වගේම උදයන් පුවත්පතට එල්ල කර තිබෙන ප්‍රහාරය පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. මේ සියලු දේ කරනු ලබන්නේ එක්‌ කණ්‌ඩායමක්‌ විසිනුයි. ආරක්‍ෂක අංශයට සම්බන්ධ සිවිල් ඇඳුම් ඇඳගත් කිහිප දෙනකුගෙන් මේ කණ්‌ඩායම සමන්විත වනවා. අනෙකුත් ආරක්‍ෂක අංශවලට මේ සම්බන්ධයෙන් දොaෂාරෝපණය කළ නොහැක. ඔවුන් ද පවසන්නේ කිහිප දෙනකු විසින් ඔවුන්ගේ නම් ද විනාශ කරන බවයි. මෙවැනි පසුබිමක්‌ තුළ මැතිවරණයක්‌ පැවැත්විය නොහැකියි. එසේ නම් මෙවැනි ක්‍රියා වහාම නැවැත්විය යුතුයි. ඒ සඳහා පියවර කිහිපයක්‌ ගත යුතු වෙනවා. විශේෂයෙන්ම මේ ක්‍රියාවන්ට සම්බන්ධ වන නිලධාරීන් වහාම ඉවත් කළ යුතුයි. ඒ වගේම විරුද්ධ පක්‍ෂවලට සෑහීමකට පත්විය හැකි වන පරිදි නීතිය ක්‍රියාත්මක කරන පියවර ආණ්‌ඩුව ප්‍රකාශයට පත් කළ යුතු වනවා. එමෙන්ම යාපනයේ මාධ්‍ය ආරක්‍ෂා කිරීමට ආණ්‌ඩුව විශේෂ පියවර ගත යුතුයි.

මෙම උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නම් උතුරු පළාත් ආණ්‌ඩුකාර ධුරය සඳහා සිවිල් නිලධාරියෙකු පත්කළ යුතුයි. හමුදාවට සම්බන්ධ අය මාර්ගයෙන් මෙම ඡන්දය පවත්වන්නේ නම් අපි ඊට විරුද්ධ වනවා. එසේ නම් සියලු දෙනාට පිළිගත හැකි සිවිල් පුද්ගලයකු උතුරු පළාත් ආණ්‌ඩුකාර ධුරය සඳහා පත් කළ යුතුයි.

එමෙන්ම මෙම මැතිවරණය සඳහා විදේශ නිරීක්‍ෂකයන් කැඳවිය යුතුයි. ආණ්‌ඩුව ඊට විරුද්ධ නොවිය යුතුයි. සැප්තැම්බර් මාසයට පෙර උතුරු පළාත් සභා මැතිවරණය පවත්වන බවට ආණ්‌ඩුව ජිනීවාහිදී එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්‌ඩලයට ප්‍රතිඥවක්‌ ලබාදී තිබෙනවා. ආණ්‌ඩුව එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්‌ඩලයට ලබාදුන් ප්‍රතිඥව අනුව සහ පොදු රාජ්‍ය මණ්‌ඩලයීය ප්‍රධානීන්ගේ රැස්‌වීම් ලංකාවේදී පවත්වන්නේ නම් උතුරු පළාත් මැතිවරණය සඳහා ජාත්‍යන්තර නිරීක්‍ෂකයන් හා පොදු රාජ්‍ය මණ්‌ඩලයීය කණ්‌ඩායමක්‌ ද ගෙන්විය යුතුයි. මෙම විදේශීය නිරීක්‍ෂකයන් සහ පොදු රාජ්‍ය මණ්‌ඩලයීය කණ්‌ඩායම කැඳවිය යුත්තේ මැතිවරණයට සතියකට පෙර නොව එම මැතිවරණය ප්‍රකාශයට පත් කළ දින සිට වන අතර මැතිවරණය අවසන් වන තෙක්‌ එම කණ්‌ඩායම්වලට නිරීක්‍ෂණ කටයුතුවල නියෑලීමට අවස්‌ථාව සැලසිය යුතුයි.

උතුරු පළාත් සභා මැතිවරණය නිදහස්‌ව සහ සාධාරණව පැවැත්වීමට නම් එම කොන්දේසි හතර අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බව මම අවධාරණය කරනවා.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.