"ජාතික මට්‌ටමේ වැඩ වැරුමකට යනවා"
වැඩි කළ විදුලි ගාස්‌තුව හකුළා ගන්න

සංවිධාන 50 කින් 9 වැනිදා උද්ඝෝෂණ

අකිත පෙරේරා

වැඩි කරනු ලැබූ විදුලි ගාස්‌තුව නැවත හකුලා ගන්නා ලෙස බල කරමින් වෘත්තීය සමිති, මහජන ව්‍යාපාර පනහකින් සමන්විත විදුලි බිල වැඩි කිරීමට එරෙහි මහජන ව්‍යාපාරය කොළඹින් මැයි මස 9 වැනිදා දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක්‌ ආරම්භ කොට එය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මේ සඳහා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය හැර අනෙක්‌ සියලු දේශපාලන පක්‍ෂවල සහයෝගයද ලබාගෙන ජාතික මට්‌ටමේ වැඩවර්ජනයක්‌ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ සමන් රත්නප්‍රිය මහතා ලංකා බැංකු සේවක සංගම් මූලස්‌ථානයේදී ඊයේ (25 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.

රජය විසින් සිදුකරන ලද විදුලි ගාස්‌තු ඉහළ දැමීමට විරෝධය දැක්‌වීම සඳහා පිහිටුවා ගන්නා ලද මෙම විදුලි බිල වැඩි කිරීමට එරෙහි මහජන ව්‍යාපාරය සිය ප්‍රථම මාධ්‍ය හමුව කැඳවමින් මේ බව කියා සිටි අතර මෙම විරෝධතා ව්‍යාපාරය පියවර කිහිපයක්‌ යටතේ ක්‍රියාත්මක කරන බවද කීය.

මෙම මාධ්‍ය හමුවේදී අදහස්‌ දැක්‌වූ සමන් රත්නප්‍රිය මහතා මෙසේද කීය. ආණ්‌ඩුව මහජන අදහස්‌ ගැන නොතකමින් විදුලි බිල වැඩිකර තිබෙනවා. එහිදී මහජන උපයෝගිතා කොමිෂන් සභාව ආණ්‌ඩුව බළල් අතක්‌ විදිහට පාවිච්චි කළා. මේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව කියන්නේ විදුලි බිල නියාමනය කිරීමට තිබෙන ස්‌වාධීන ආයතනයක්‌. එහෙත් එහි ක්‍රියාකාරීත්වය ගැන ගැටලු සහගතයි. මෙහි සභාපතිවරයා පත් කළේ ජනාධිපතිවරයායි. ඔහු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නීතිඥ සංගමයේ සාමාජිකයෙක්‌.

මෙරට ජනතාවගෙන් බොහෝ පිරිසක්‌ ඒකක 90 ත් 100 ත් අතර ප්‍රමාණයක්‌ තමයි විදුලිය පාවිච්චි කරන්නේ. දැන් මෙම වැඩි කිරීම නිසා එම පිරිසට තමයි වැඩියෙන්ම පහරදීලා තියෙන්නේ. මේ හරහා ආණ්‌ඩුව සාමාන්‍ය ජනතාවගේ බඩට ගහලා විශාල බදු මුදලක්‌ එකතු කර ගන්න හදනවා.

මෙහිදී අදහස්‌ දැක්‌වූ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා(- ලැබෙන වැටුපෙන් යන්තම් ජීවිතය ගැටගසා ගන්නා පිරිස්‌ තමයි වැඩි වශයෙන් දැන් ඉන්නේ. එහෙම තත්ත්වයක්‌ තිබියදී මෙහෙම විදුලි බිල වැඩිවුණහම ඔවුන් එය දරා ගන්නේ කොහොමද? මේ වගේ තත්ත්වයන් අපි පාවිච්චි කළ යුතුයි මේ ආණ්‌ඩුව මොන වගේ ආණ්‌ඩුවක්‌ද කියලා ජනතාවට පෙන්වීමට. එසේ නැතිව මට නම් වුවමනාවක්‌ නැහැ විදුලි බිල වැඩිවීමට විරෝධය දක්‌වන්න.

මෙහිදී ලංකා වෘත්තීය සමිති සම්මේලනය වෙනුවෙන් එහි ලේකම් ඩී. එම්. සුබසිංහ, ලංකා බස්‌ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විඡේරත්න, ආණ්‌ඩුවේ කම්කරු සමිති සම්මේලනයේ ඩී. එම්. ඩී. අබේරත්න, ජාතික සේවක සංගමයේ සුරංග තාවුල්ලගේ, අන්තර් විශ්වවිද්‍යාල බල මණ්‌ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්‌ඩාර, සොබා සාමූහිකයේ තිලක්‌ කාරියවසම්, තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ඒ. ඩබ්ලිව්. රණතුංග, තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ චින්තක බණ්‌ඩාර, ලංකා බැංකු සේවක සංගමයේ කේසර කෝට්‌ටේගොඩ, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්‌ටාලින්, ජාතික නිදහස්‌ සේවක සංගමයේ ලියොන් ජෝෂප් යන මහත්වරු අදහස්‌ දැක්‌වූහ.

මාධ්‍ය හමුව සඳහා තවත් වෘත්තීය සමිති සහ මහජන ව්‍යාපාරයන්හි නියෝජිතයෝද සහභාගි වී සිටියහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.