අත්‍යවශ්‍ය ඖෂධ ගන්න කෝටි 16ක්‌
කැබිනට්‌ අනුමැතිය ලැබේ

රනිල් ධර්මසේන

රජයේ රෝහල් සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ රුපියල් පහළොස්‌ කෝටි අනූ ලක්‍ෂයක උපරිමයකට යටත්ව මිලදී ගැනීමට ඇමැති මණ්‌ඩලය අනුමැතිය ලබා දී ඇත.

අමාත්‍යංශ ප්‍රසම්පාදන සහ තාක්‍ෂණික ඇගයීම් කමිටුවල නිර්දේශයන් අනුව මෙම මිලදී ගැනීම් සිදුකළ යුතුවෙයි.

මේ අතර සරම්ප, කම්මුල්ගාය සහ රුබෙල්ලා ලයිව් බීපී එන්නත් හෝ සරම්ප කම්මුල්ගාය සහ රුබෙල්ලා වයිරස්‌ යූ. එස්‌. පී. එන්නත් මාත්‍රා තිස්‌ හතර ලක්‍ෂයක්‌ මිලදී ගැනීමේ ටෙන්ඩරය රුපියල් මිලියන දාහතර කෝටි හැටහතර ලක්‍ෂ තුන්දහස්‌ පන්සිය හැට දෙකක මුදලකට ලබාදීමට කැබිනට්‌ අනුමැතිය හිමිවී ඇත.

එමෙන්ම ජැපනිස්‌ එන්සපලයිටිස්‌ ලයිව් වැක්‌සින් මාත්‍රා විසිහතර ලක්‍ෂයක්‌ මිලදී ගැනීම සඳහා වූ ටෙන්ඩරය නැවත කැඳවීමටත් පසුගිය වසරේ ටෙන්ඩරයෙන් සියයට පනහක ප්‍රමාණයක්‌ වහාම එම මිලටම ලබා ගැනීමටත් ඇමැති මණ්‌ඩලයේ අනුමැතිය හිමිව ඇත. එමගින් දැනට පවතින එම ඖෂධ හිඟය මගහරවා ගැනීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වෙයි.

ඉහත කැබිනට්‌ පත්‍රිකා තුන ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පෙරේදා (24 වැනිදා) ඇමැති මණ්‌ඩලයට ඉදිරිපත් කර ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.