දරුවා අපයෝජනයට ලක්‌කොට ගෙල සිරකර මරා දමලා
පශ්චාත් මරණ පරීක්‌ෂණයේ දී සනාථ වෙයි

කෑගල්ල - එම්. බී. පහළවත්ත, කොටියාකුඹුර - රම්‍යපාල

කෑගල්ල, වලගම්බා කනිෂ්ඨ විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යයාගේ කටට ඔහුගේම කමිසය ඔබා නිහඬ කර බලවත් ලෙස අපයෝජනයට ලක්‌කර ඔහු පැළැඳි ටයිපටියෙන් ගෙල සිරකර ඝාතනය කර ඇති බවට පශ්චාත් මරණ පරීක්‌ෂණය පැවැත්වූ කෑගල්ල මහරෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරා මහතා පැවැසීය.

වෛද්‍යවරයා විසින් නිකුත් කරන ලද වාර්තාවේද එසේ සඳහන් කර ඇත. බලවත් සේ දරුවා අපයෝජනයට ලක්‌කර ඇත.

මෙම අපරාධයෙන් මියගොස්‌ ඇත්තේ, කෑගල්ල, නිල්මල්ගොඩ, මල්වත්ත කන්ද පදිංචි හත් හැවිරිදි පුෂ්පකුමාර විඡේකෝන් නමැති ශිෂ්‍යයෙකි.

මෙම සිද්ධිය සම්බන්ධව කෑගල්ල පොලිසිය විසින් පොලිස්‌ නිල සුනඛයන් යොදවා කරන ලද පරීක්‌ෂණයේදී එක්‌ අයකු අත්අඩංගුවට ගෙන ඇත. මළ සිරුරේ ටයිපටිය හා ශරීරය ඉවකර බලා සුනඛයා සැකකරුගේ නිවසට ගොස්‌ ඇත. එහිදී ඉදිරිපස දොර ළඟටද ජල ටැංකිය ළඟටද සුනඛයා ගොස්‌ ඇති බව පොලිසිය පැවැසීය.

සැකකරු නිවසේ නොසිටි මුත් පසුව ඔහු අත්අංගුවට ගෙන ඇත.

මෙම සැකකරු හමුදා සේවයේ සිට විශ්‍රාම ලබා ඇති 53 හැවිරිදි දෙදරු පියෙකි. ඔහු දරුවන් හා බිරිඳ පන්නා දමා තනිවම නිවසේ සිටින අයකු බව පොලිසිය සොයාගෙන ඇත.

මෙවැනි අපචාරවලට ඔහු මෙයට පෙරද සම්බන්ධ වී ඇති අයකු බවද පැවසේ.

මෙම සැකකරු අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු කෑගල්ල මහෙස්‌ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට කෑගල්ල පොලිසිය ඊයේ (25 වැනිදා) කටයුතු කර ඇත.

කෑගල්ල කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි ප්‍රියලාල් දසනායක, සහකාර පොලිස්‌ අධිකාරි ප්‍රියන්ත පීරිස්‌, කෑගල්ල මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක කමල් පෙරේරා මහතාගේ උපදෙස්‌ පිට අපරාධ මර්දන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක සංජීව පෙරේරා මහතා ඇතුළු නිලධාරීහු පරීක්‌ෂණ පවත්වති.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.