කතරගම කොඩිවින කැපිල්ලේ
ජංජාල ගොඩයි

කතරගම - කේ. ඩී. දේවප්‍රිය සහ අනුර ගාල්ලවත්ත

කොඩිවින කැපීමට යෑයි පැමිණි තැනැත්තකු විසින් කාන්තාවකට පහර දීම නිසා කාන්තාව රෝහල් ගත කර අදාළ පුද්ගලයා බන්ධනාගාර ගත කිරීමේ සිද්ධියක්‌ කතරගමින් වාර්තා විය.

කොඩිවින කැපීමට සමත් යෑයි පවසන මෙම තැනැත්තා කතරගම නාගහාවීදිය ප්‍රදේශයේ ස්‌ථාන කීපයක කොඩිවින කැපුවේ යෑයි පවසා අදාළ නිවසේද ඉකුත් 23 වැනිදා රාත්‍රි කොඩිවින කැපීමට සැකකරු පැමිණ ඇත. සැකකරු එම නිවසේ කාන්තාවට ඇතැයි කියන භූත දිෂ්ටියක්‌ පළවා හරින්නට යයි කියමින් යාගයක්‌ පවත්වා තිබේ.

පූජාවට තැබීමට යෑයි පවසා අරක්‌කු බෝතලයක්‌ද ගෙන්වා හොඳටම බී ගත් මෙම සැකකරු පීදේනියට තබන්න කුකුළකු ගෙනෙන ලෙස එම කාන්තාවගේ සැමියාට පවසා ඇත. ඔහු කුකුළා රැගෙන එන අතර බිරිඳගේ ඇඳුම් ගලවන ලෙස බලකර ඇති අතර එහිදී කාන්තාව එය නොකළ නිසා සැකකරු පහරදී ඇතැයි පැවසේ. යළිත් මෙම සැකකරු ලීයක්‌ ගෙන කාන්තාවට පහරදී ඇති අතර එය දුටු කාන්තාවගේ සැමියා සැකකරු බැඳ කතරගම පොලිසියට භාරදී ඇත.

තුවාල ලැබූ කාන්තාව කතරගම දිසා රෝහලට ඇතුළත් කර තිබේ. සිද්ධියට අදාළ සැකකරු කතරගම පොලිසිය විසින් තිස්‌සමහාරාම අධිකරණයට යොමු කිරීමෙන් පසු ලබන 30 වැනි දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට තිස්‌සමහාරාම මහෙස්‌ත්‍රාත් සංජිව රම්‍ය කුමාර මහතා නියෝග කර ඇත.

මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කැකිරාව පදිංචි අයෙකි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.