සූරියවැව අපරාධ හතකට සම්බන්ධ සැකකරු කොට්‌ටුන්නදී කොටුවෙයි

දෙල්ගොඩ - ඩබ්ලිව්. ඩී. විතාන හා මාකොල - සචිත්‍ර ඇල්වලගේ

සපුගස්‌කන්ද පොලිසිය පෙරේදා (24 වැනිදා) පස්‌වරුවේ සිය පොලිස්‌ වසමේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සූරියවැව ප්‍රදේශයේ අපරාධ හතකට අවශ්‍ය වී සිටි තරුණයකු අත්අඩංගුවට ගෙන ඇත.

මොහු ළඟ තිබී මෙරට සාදන ලද ටී. 56 උණ්‌ඩ දැමිය හැකි ගල්කටස්‌ පිස්‌තෝලයක්‌, විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්‌ හා ටී. 56 යේ ජීව උණ්‌ඩ හතරක්‌ද සොයාගෙන තිබේ. හෙයියන්තුඩුව - කොට්‌ටුන්න මාර්ගයේ තවත් තරුණයකු සමග යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මොහු මෙසේ පොලිසියට හසුවී ඇති අතර යතුරුපැදියේ පිටුපස අසුනේ ගමන් කළ අනෙක්‌ තරුණයා පලාගොස්‌ ඇත.මොවුන් යම්කිසි අපරාධයක්‌ සිදුකිරීමට සපුගස්‌කන්ද ප්‍රදේශයට පැමිණ තිබෙන බවට සැක කෙරේ.

සූරියවැව ප්‍රදේශයේම පදිංචිකරුවකු වන මේ තරුණයා ඊයේ (25 වැනිදා) පස්‌වරුවේ මහර මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබිණි.

කැලණිය පොලිස්‌ අධිකාරි සී. ඊ. වෙදිසිංහ මහතාගේ හා කැලණිය සහකාර පොලිස්‌ අධිකාරිනි මදාරා ආරියසේන මහත්මියගේ අධීක්‍ෂණය යටතේ සපුගස්‌කන්ද පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක පී. ජී. එස්‌. ආර්. සංජීව, අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක තුසිත ජයකොඩි, සැරයන් ආරියසේන (16712), කුමාර (48844), පො. කො. සිසිර (39194), ප්‍රසාද් (71595), අබේරත්න (19334) තිලකරත්න (36589) එදිරිමාන්න (47575) හා සැරයන් රියෑදුරු සිsරිවර්ධන (25601) යන නිලධාරීහු මේ වැටලීම සිදුකළහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.