බල්ලා නෑවීමට ගෙනගිය පුද්ගලයා ගල්වළට බිලි

ධම්මික සල්වතුර - ඇන්ටන් ප්‍රනාන්දු - සුගත් ප්‍රේමතිලක - කඩුවෙල

නිවසේ සුරතලේට ඇතිකරන සුනඛයා නෑවීම සඳහා ජලය පිරුණු ගල්වලකට රැගෙන ගිය 63 හැවිරිදි පුද්ගලයකු එම ගල්වලට වැටීමෙන් මියගොස්‌ ඇතැයි නවගමුව පොලිසිය පවසයි.

මියගිය අයගේ සිරුර එම ගල්වලේ පාවෙමින් තිබියදී ඊයේ (25 දා) නවගමුව පොලිසිය මගින් සොයාගෙන ඇත.

මෙසේ මියගොස්‌ ඇත්තේ 523/2 "රන් රුවන්" දැඩිගමුව ලිපිනයේ පදිංචි මංනංදිවගේ විඡේතුංග නමැති අයෙකි.

වාර්තාවන පරිදි මියගිය අය පෙරේදා (24 දා) සුනඛයා දම්වැලකින් ගැටගසා දැඩිගමුව ජය මාවතේ දෙකඳුවල පාරේ ගල්වලට රැගෙන ගොස්‌ තිබේ.

එහිදී කිසියම් ආකාරයකින් මියගිය අය ගල්වලට වැටී තිබෙන බවට පොලිසිය සැකකරන අතර බල්ලා දම්වැල පිටින් නිවසට පැමිණ ඇත.

මියගිය අය තරමක්‌ සිහිමද ගතියෙන් හා අපස්‌මාර රෝගයෙන් පෙළුණු අයකු බවද අනාවරණය වී තිබේ. නවගමුව පොලිස්‌ ස්‌ථානාධිපති පො. පරීක්‍ෂක එම්. එල්. මහගෙදර මහතාගේ මෙහෙයවීමෙන් සිද්ධිය සම්බන්ධව පරීක්‍ෂණ පැවැත්වේ.

පශ්චාත් මරණ පරීක්‍ෂණය නවගමුව හදිසි මරණ පරීක්‍ෂක ආරියරත්න දෙනුවක මහතා විසින් සිදුකරන ලදී.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.