සාර්ක්‌ කලාපීය රටවල මාධ්‍යවේදීන්ට සාමය
ස්‌ථාපිත කිරීමට විශාල වගකීමක්‌ තිබෙනවා
ජනමාධ්‍ය හා තොරතුරු ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල

තුෂාරී කළුබෝවිල

සාර්ක්‌ කලාපයේ රටවල සාමය ස්‌ථාපිත කර ගැනීම සඳහා එම කලාපීය රටවල මාධ්‍යවේදීන්ට බරපතළ වගකීමක්‌ පැවරී තිබෙන බව ජනමාධ්‍ය හා තොරතුරු ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා පැවැසීය.

හෙතෙම එසේ පැවසුවේ ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශය සහ සාර්ක්‌ තොරතුරු මධ්‍යස්‌ථානය එක්‌ව සංවිධානය කළ "සාමය ස්‌ථාපිත කිරීම උදෙසා ජනමාධ්‍යයේ වගකීම" මැයෙන් ඉකුත් 24 වැනිදා කොළඹ පැවති වැඩමුළුව අවස්‌ථාවේදීය.

සාර්ක්‌ කලාපයේ රටවල් කලාපයේ සාමය ආරක්‌ෂා කර ගැනීම සඳහා සාමූහිකව කැපවීම ඉතා වැදගත් වන නමුත් ඒ ඒ රටවල අභ්‍යන්තර තත්ත්වයන්ට ඇඟිලි ගැසීම් නොකළ යුතු බවද මෙහිදී ඇමැතිවරයා අවධාරණය කළේය.

වසර තිහක්‌ පුරා මේ රට විනාශ කරමින් සිටි එල්ටීටීඊ ත්‍රස්‌තයන්ගෙන් රට මුදා ගැනීමේ මෙහෙයුමේදී මාධ්‍ය සිය වගකීම නොපිරිහෙළා ඉටු කළ බවත්, තවදුරටත් මාධ්‍ය ඔවුන්ගේ එම වගකීම් සම්භාරය අඛණ්‌ඩව ඉදිරියට රැගෙන යන බවත් ඇමැතිවරයා ප්‍රශංසාත්මකව සඳහන් කළේය.

මෙහිදී වැඩමුළුව ඇමතූ හිටපු යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ "යුද්ධය වෙලාවේ මාධ්‍ය යුද්ධයත් එක්‌ක සමගාමීව පෙරට ගියා. යුද්ධයේ සියලු තොරතුරු මාධ්‍ය මගින් නොසඟවා හෙළිදරව් කළා. නමුත් යුද වාර්තාකරණයේදී එල්ටීටීඊ එක වැරදි තොරතුරු නිර්මාණය කරමින් ජාත්‍යන්තරයට ඒවා අරගෙන ගියා. නමුත් යුද්ධය වේලාවේදී අපේ මාධ්‍ය හරි තොරතුරු වාර්තා කළ නිසා වසර ගණනක්‌ එල්ටීටීඊ එකට නතු වෙලා පීඩා වින්ද උතුර නැගෙනහිර ජනතාව යුද හමුදාව සමග එකතු වුණා. සාමාන්‍ය වැසියන්ගේ ජීවිත බේරා ගන්න එයින් යුද හමුදාවට පහසුවක්‌ වුණා. එල්ටීටීඊ එකට රහසිගතව උදව් කළ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ තොරතුරු මාධ්‍ය මගින් හෙළිදරව් කිරීම නිසා ඔවුන්ව උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් ඉවත් කරන්න රජයට හැකි වුණා."

ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍ය ලේකම් චරිත හේරත් මහතා - මේ රටේ මාධ්‍ය ක්‌ෂේත්‍රයේ දියුණුව උදෙසා සාර්ක්‌ රටවල නවීන තාක්‌ෂණය පිළිබඳ අත්දැකීම් ලබා ගැනීමට පියවර ගන්නවා.

ඒ සඳහා මාධ්‍යවේදීන් යොමු කරවීමට ඉදිරියේදී කටයුතු කරනවා.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.