ලාභ ලැබූ විදුලිබල මණ්‌ඩලයේ විනාශයට 77 න් පසු සෑම රජයක්‌ම වගකිව යුතුයි
ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි

රුපියල් කෝටි ගණනින් ලාභ ඉපැයූ ලංකා විදුලිබල මණ්‌ඩලය විනාශ කර දැමීම පිළිබඳව 1977 න් පසුව පැමිණි ආණ්‌ඩුවේ සිරිල් මැතිව් ඇමැතිවරයාගේ යුගයෙන් පසුව අද දක්‌වා සිටි සියලුම රජයන් හා සියලුම ඇමැතිවරුන් වගකිවයුතු බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ මෙසේද සඳහන් වෙයි.

2013.04.20 දින සිට ක්‍රියාත්මක විදුලි ගාස්‌තු සංශෝධනය පිළිබඳ ජනසෙත පෙරමුණේ විරෝධය රජය වෙත පළකර සිටින අතර එම තීරණය ක්‍රියාත්මක කිරීමට අනුබල දුන් සැමට අපගේ බලවත් අප්‍රසාදය පල කර සිටී. ලංකා විදුලිබල මණ්‌ඩලයේ මෙම අත්තනෝමතික ක්‍රියා පිළිවෙත අපි තරයේ හෙළා දකිමු.

අවුරුදු 30 ක අතීතය පුනරාවර්තනය කිරීමේදී එවකට ශුද්ධ ලාභ ලැබූ ආයතන දෙකක්‌ අත්‍යාවශ්‍ය සේවායන්හි නියුක්‌තව තිබුණි. එනම් ලංකා ඛණිජ තෙල් සංස්‌ථාව සහ ලංකා විදුලිබල මණ්‌ඩලයයි. 1977 පෙර ඇමැති ටී. බී. සුබසිංහ යුගය සහ 1977 ට පසු ඇමැති සිරිල් මැතිව් යුගයත් පිළිබඳව අපට ප්‍රසංශනාත්මකව කතා කළ හැකිය. කෝටි ගණනින් ලාබ ඉපැයූ මෙම ආයතන විනාශ කර දැමීම පිළිබඳව එතැන් සිට අද දක්‌වා සිටි සියලුම රජයන් සහ සියලුම අමාත්‍යවරු වගකිවයුතු බව අප වගකීමෙන් කියන අතර අද ඇමැති පදවි හොබවන දෙපලගේ වගකීම විය යුත්තේ මෙම ආයතනය මරුකටින් ගොඩගෙන මහජනතාවට සෙත සලසන ආයතන ලෙස පවත්වාගෙන යාමය. ෙ-. ආර්. යුගයේ වික්‌ටෝරියා, රන්ටැඹේ, රන්දෙණිගල යනාදියෙන් ආරම්භ කළ ජල විදුලි බලාගාරවලින් ඉන්දියාවට පවා විදුලිය දීමට හැකිබවට වහසිබස්‌ දෙඩුවද එහි ප්‍රතිඵල අසාර්ථක වී ඇත. කිසිදු දේශපාලුවෙකුගේ සබැඳියාවක්‌ නොතිබූ ලක්‍ෂපාන නොමැති නම් අප සදාකාලික අඳුරේය.

ලංකා විදුලි බල මණ්‌ඩලයේ දැවි තෙල්වලට ගෙවීම සඳහා මහජනතාව සූරාකෑමට සූදානම් වේ. එම සූරාකන මුදලින් වැඩිපුර වියදම් කරන්නේ ලංකා විදුලිබල මණ්‌ඩල සේවක සුභ සාධක හා පඩිනඩි, අතිකාල සහ සුඛෝපභෝගි කාර්යාල පහසුකම් සඳහාය.

ආයතන නවීකරණය හෝ ප්‍රතිව්‍යqහගත කිරීම යනු ආයතන ප්‍රධානීන්හට සුඛෝපභෝගී වාහන ගැනීම හෝ ඔවුන්ගේ සේවක මණ්‌ඩලය සඳහා ඉහළ වැටුප් තල සැකසීම හෝ නොවන බව අපි අවධාරණය කර සිටිමු. විදුලිබිල සංශෝධනය කළ සෑම වරකදීම වැටුප් හා පහසුකම් වැඩි කිරීමේ ක්‍රියාදාමය සිදුකර ඇති බව අපට පෙනී යයි. මින් ඉදිරියට ල.වි.ම. වැටුප් වැඩිවීම අත්හිටුවිය යුතු බවට අප යෝජනා කරමු. වරින්වර සේවක අයිතිවාසිකම් නමැති ඊනියා මතය ඔස්‌සේ සේවකයන් උසිගැන්වීමත්, විදුලිබිල වැඩිවීම මත මහජනතාව උසි ගැන්වීමටත් උත්සාහ කරන ජනතා විමුක්‌ති පෙරමුණේ දෙබිඩි පිළිවෙතද අප තරයේ හෙළා දකිමු.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.