විදුලි බිල වැඩිවීමෙන් සමෘද්ධි ව්‍යාපාරයේ අඩු ආදායම් ලබන ජනතාවට දරාගත නොහැකියි
සමෘද්ධි සංගමය ජනාධිපතිට ලිපියකින් කියයි

විදුලි බිල වැඩිවීම මගින් සමෘද්ධි ව්‍යාපාරයේ අඩු ආදායම් ලාභී ජනතාවට දරාගත නොහැකි පීඩනයක්‌ මතුව ඇතැයි සමස්‌ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත ලිපියක්‌ යවමින් ප්‍රකාශ කර සිටී.

එම සංගමයේ ලේකම් බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී එස්‌. ඒ. ඩී. ජගත් කුමාර මහතා විසින් යවා ඇති එම ලිපියේ මෙසේද සඳහන් වේ.

මේ දිනවල කාගේත් කතාබහට ලක්‌ව ඇති විදුලිබිල වැඩිවීම හා ඊට අදාළ විවේචන හා දොaෂ දර්ශන පිළිබඳ ඔබතුමා හොඳින් දන්නවා ඇතැයි සිතමි.

ජනාධිපතිතුමනි, ජනතාව සමඟ සම්බන්ධ වී කටයුතු කරන මහජන නියෝජිතයකු ලෙසත් පහළම ආදායම් ලබන සමෘද්ධිලාභීන් සමඟ සමීපව කටයුතු කරන සමෘද්ධි නිලධාරීන්ගේ වෘත්තීය සමිතියේ ලේකම්වරයා ලෙසත් විශේෂයෙන් මේ දිනවල අසන්නට දකින්නට ලැබෙන්නේ රජයට එරෙහි විවේචන හා අපවාදයන් බව අකමැත්තෙන් වුවත් ඔබතුමන් වෙත ප්‍රකාශ කළ යුතුව ඇත. විශේෂයෙන් එයට හේතු වී ඇත්තේ දරාගත නොහැකි අයුරින් පහළම ජන කොට්‌ඨාසය නියෝජනය කරන ජනතාවගේ නිවෙස්‌වල විදුලිබිල සුවිශාල ලෙස වැඩි කිරීමට තීරණය කිරීමත් වැඩි විදුලි පරිභෝජනයක්‌ සිදු කරන ව්‍යාපාර හිමිකරුවන්ගේ හා ඉහළ ආදායම් ලබන්නන්ගේ විදුලි බිල සුළු ප්‍රමාණයෙන් වැඩිවීමත්ය. මේ පිළිබඳ රට තුළ විශාල කැළඹීමක්‌ ඇති වෙමින් පවතින බව දැනුම්දෙන්නේ ඉතාම ගෞරවයෙනි.

කඩිමුඩියේ පසුගිය දා සිදුවූ හදිසි විදුලි සංශෝධනයේදී වැඩියෙන්ම සිදුවී ඇත්තේ අඩු විදුලි පරිභෝජනයක්‌ සිදු කරන අඩු ආදායම්ලාභීන්ගේ හා මධ්‍යම පාන්තික ජනතාවගේ විදුලි බිල විශාල ප්‍රමාණයකින් වැඩිවීමයි. මෙම තත්ත්වය සාමාන්‍ය පොදු ජනතාවටත්, විශේෂයෙන් මා නියෝජනය කරන සමෘද්ධි ව්‍යාපාරයේ අඩු ආදායම්ලාභී ජනතාවටත් දරාගත නොහැකි පීඩනයක්‌ව ඇත. එබැවින් එම අඩු ආදායම්ලාභී ජනතාවට මෙම විදුලි බිල වැඩිවීම සම්බන්ධව සාධාරණ විවේචනයක්‌ හා දුක්‌ ගැනවිල්ලක්‌ ඇත. එම දුක්‌ ගැනවිල්ල රජයට එරෙහි විරෝධයක්‌ බවට පත් කිරීමට රජයට එරෙහිව ක්‍රියා කරන විපක්‍ෂයේ ඇතැම් අය හා කුමන්ත්‍රණකාරීන් උත්සහ කරමින් සිටී. රජයට එරෙහි විපක්‍ෂ බලවේග හා ඇතැම් කුමන්ත්‍රණකාරීන්ගේ බලපෑම් හා ඉල්ලීම් වලට වඩා සැබෑ ජනතා දුක්‌ දන්නා නායකයෙකු ලෙස මේ පිළිබඳ ඔබතුමාගේ අවධානය යොමු වී සහනයක්‌ සැළසේ යෑයි තවමත් පොදු මහ ජනතාව විශ්වාස කරන බව වැඩිදුරටත් ඔබතුමාට ගෞරවයෙන් දැනුම් දෙමි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.