රටේ ආරක්‍ෂාවට අවශ්‍ය අවි ආයුධ අපම නිපදවන යුගයකට පැමිණිය යුතුයි
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

කාලතුවක්‌කු රෙජිමේන්තුවේ වර්ණ ප්‍රදාන උළෙල

උදේනි චන්ද්‍රසිරි

අප රටේ ආරක්‍ෂාවට අවශ්‍ය අවි ආයුධ අප රටේම නිපදවාගෙන රටේ ආරක්‍ෂාව වගේම ජාතික ආර්ථිකයට ශක්‌තියක්‌ වියයුතු යුගයකට අපි අවතීර්ණ විය යුතුව තිබෙන බවත්, එදාට අපේ නිදහස තවත් අර්ථවත් වන බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

පනාගොඩ කාලතුවක්‌කු යුද හමුදා රෙජිමේන්තු පරිශ්‍රයේදී ඉකුත් 23 වැනිදා පැවැති කාලතුවක්‌කු රෙජිමේන්තුවේ වර්ණ ප්‍රදානෝත්සවයේදී ජනාධිපති වරයා මේ බව පැවැසීය.

ජනාධිපතිවරයා මෙසේද කීවේය.

කාලතුවක්‌කු රෙජිමේන්තුවට වසර 125 ක්‌ සම්පූර්ණ කරන අවධියේ වර්ණ ප්‍රදානය කිරීමට ලැබීම ගැන මම ඉතාම සතුටු වෙනවා. ගෙවුණු වසර 125 පුරාම කාලතුවක්‌කු රෙජිමේන්තුව අපේ මාතෘ භූමියට සුවිශාල මෙහෙවරක්‌ කරලා තිබෙන බව මම බොහොම ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා.

කාලතුවක්‌කු ගැන අපේ ඉතිහාසයේ සඳහන් වෙන්නේ 1505 දී. ඒ පෘතුගීසීන් ලංකාවට ගොඩ බැහැපු යුගය. සුදු පැහැ මිනිස්‌සු වර්ගයක්‌ කොළඹට ගොඩ බැහැලා යකඩ තොප්පි දාගෙන, සුදුගල් හපා කකා, ලේ බොන බව අපේ මිනිස්‌සු එදා කෝට්‌ටේ රජතුමාට දැනුම් දුන්නා. ඒ අයගේ කාලතුවක්‌කුවලින් තියෙන වෙඩි හඬ යුගන්දර පර්වතයේ හෙන හඬටත් වඩා ලොකු බව අපේ ජනතාව කෝට්‌ටේ රජ කරපු පරාක්‍රමබාහු රඡ්ජුරුවන්ට එදා දැනුම් දැන්නා.

පාන් දැකලා තිබුණේ නැති වුණත් වයින් දැකලා තිබුණේ නැති වුණත් ශ්‍රී ලාංකිකයෝ පරංගි පාවිච්චි කළ තුවක්‌කු ගැන නම් හරියට දැනගෙන ඉඳලා තියෙනවා. පරංගි පාවිච්චි කරපු ආයුධය කාලතුවක්‌කුවක්‌ම කියලා රජ වාසලට දැනුම් දුන්නේ එදා වෙනකොටත් කාලතුවක්‌කු ගැන අවබෝධයක්‌ තිබුණු නිසා. ඊට පස්‌සේ වසර කිහිපයක්‌ ඇතුළත අපේ ශිල්පියෝ හදපු කාලතුවක්‌කු ගැන පරංගිත් පුදුම වෙලා තියෙනවා. අපේ කාලතුවක්‌කු අති සූක්‍ෂමයි කියලයි පරංගි කිව්වේ. ඒ කාලතුවක්‌කු අපේ රටේම කම්මල්වල හදපුවා. පරංගි එන්නත් කලින් ඉඳන්ම තුවක්‌කු වගේම කාලතුවක්‌කු ගැනත් දැනගෙන ඉන්න ඇති කියලා මම කියන්නේ අපේ යුධ ඉතිහාසයට ගෞරවයක්‌ වශයෙන්.

1587 දී කොළඹ කොටුව වට කරපු පළවෙනි රාජසිංහ රඡ්ජුරුවොත් කාලතුවක්‌කු 150 ක්‌ යොදවලා කොළඹ කොටුවට දරුණු ප්‍රහාරයක්‌ එල්ල කළා. ඒ විතරක්‌ නොවෙයි කැලණි ගඟ දිගේ රටට ඇතුළු වෙන්න ආපු පරංගි යාත්‍රාවලට කඩුවෙල, රක්‌ගහ වත්තෙදී අපේ කාලතුවක්‌කුවලින් පහර දීලා හරවලා යෑව්වා. ඒ වගේ ඉතිහාසයක්‌ අපේ කාලතුවක්‌කු වලට තියෙනවා.

1888 අප්‍රේල් 12 වැනිදා තමයි කාලතුවක්‌කු රෙජිමේන්තුව ස්‌වෙච්ඡා රෙජිමේන්තුවක්‌ හැටියට ආරම්භ කළේ.

ලංකාවේ පළවැනි අග්‍රාමාත්‍ය ඩී. එස්‌. සේනානායක මැතිතුමා ඔබගේ රෙජිමේන්තුවට ඇතුළුවුණ කෙනෙක්‌. ඔබගේ රෙජිමේන්තුවේ මුල්ම කර්නල්වරයා හැටියට කටයුතු කළේ හෙන්රි මැකලන් ආණ්‌ඩුකාරවරයා. දෙවැනි ලෝක යුද්ධ සමයේ ලංකා ආරක්‍ෂක සේනා කාලතුවක්‌කු හමුදාව ලංකාවෙන් පිටතට ගිහිල්ලා සේවය කළා. කෝකෝස්‌, සීෂෙල්ස්‌ දූපත්වල සේවයට ගියේ අපේ කාලතුවක්‌කු හමුදාව. 1942 ලංකාවට ප්‍රහාර එල්ල වෙනකොට ඒ ගුවන් යානාවලට පහර දුන්නේ අපේ කාලතුවක්‌කු හමුදාවෙන්.

වර්තමානයේත් යුද්ධයකදී කාලතුවක්‌කු කියන්නේ ඉතා විශේෂ මෙහෙවරක්‌ කරන රෙජිමේන්තුවක්‌. ඒ නිසාම කොටි සංවිධානය නිතරම කාලතුවක්‌කු බලයෙන් සන්නද්ධ වෙන්න උත්සාහ කළ බව ඔබ දන්නවා. අපෙන් කාලතුවක්‌කු උදුරා ගන්න එදා ඉඳන්ම කොටි උත්සාහ කළේ ඒ නිසයි.

කාලතුවක්‌කු රෙජිමේන්තුව නිසා අපේ සෙබළුන්ගේ ජීවිත දහස්‌ ගණන් රැකගෙන අපිට ත්‍රස්‌තවාදය ජය ගන්න පුළුවන් වුණා. මේ සටන් නිසා ගෙවුණ තිස්‌ අවුරුද්ද තුළ කාලතුවක්‌කු රෙජිමේන්තුවේ සේවය කළ නිලධාරීන් 43 ක්‌, සෙසු නිලයන් 529 ක්‌ ජීවිත පූජා කරලා තියෙනවා. නිලධාරීන් 18 දෙනෙක්‌ සෙසු නිල 300 කට ආසන්න පිරිසක්‌ පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වුණා.

එදා අපිම අපේම කම්හල්වල නිපදවපු අවිවලින් අපේ ජාතියේ නිදහසට සටන් කළා. නමුත් අද අපේ රටේ ආරක්‍ෂාවට වුවමනා බොහෝ දේ ගෙන්වන්නේ විදේශවලින්. යුද්දෙදී ඒක ප්‍රශ්නයක්‌ වුණ අවස්‌ථාත් බොහොමයි. ඒ නිසා මේ ක්‍ෂේත්‍රවල පර්යේෂණ සිදු වෙන්න ඕනෑ. අපිට වුවමනා දේ නිපදවාගෙන රටේ ආරක්‍ෂාව වාගේම ජාතික ආර්ථිකයට ශක්‌තියක්‌ විය යුතු යුගයකට අපි අවතීර්ණ විය යුතුව තිබෙනවා. එදාටයි අපේ නිදහස තවත් අර්ථවත් වෙන්නේ, යෑයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවැසීය.

කාලතුවක්‌කු රෙජිමේන්තුව විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ සමරු තිළිණයක්‌ පිළිගැන්වීය.

ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය, කාලතුවක්‌කු රෙජිමේන්තුවේ කර්නල් සේනා විධායක ජගත් රඹුක්‌පොත යන මහත්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීහු මෙම අවස්‌ථාවට එක්‌වූහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.