විදුලි ගාස්‌තු වැඩි කිරීමට පිඹුරුපත් සකස්‌ කළේ ජනපති, සියඹලාපිටිය, අමුණුගම සහ මහ බැංකු අධිපතියි
අජිත් පී. පෙරේරා (එ.ජා.ප.)

අකිත පෙරේරා

විදුලි ගාස්‌තුව වැඩි කිරීම සඳහා පිඹුරුපත් සකස්‌ කළේ හිටපු ඇමැතිවරයා හෝ වත්මන් ඇමැතිවරිය නොව ජනපති මහින්ද රාජපක්‍ෂ, රංජිත් සියඹලාපිටිය, සරත් අමුණුගම යන නියෝජ්‍ය ඇමැතිවරු සහ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන පිරිස විසින් බව එක්‌සත් ජාතික පක්‍ෂයේ කළුතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පැවසීය.

කොළඹදී ඊයේ (25 දා) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් ඒ මහතා මෙසේද කීය.

එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පෙරේදා (24 දා) පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කළා ආණ්‌ඩුව විසින් කරන ලද විදුලි ගාස්‌තුව පිළිබඳව. නමුත් මෙය මැඩපැවැත්වීමට ආණ්‌ඩු පක්‍ෂය විසින් කල්තියාම සැලසුම් කර තිබුණා. ඒ අනුව ඔවුන්ගේ පළමු සැලසුම වුණේ අපි විසින් දල්වන ලද ඉටිපන්දම්වලට වතුර ගසා මැඩපවත්වන්න.

නමුත් එය යම් විදියකින් අසාර්ථක වුණොත් අපිට ගහලා මර්දනය කරන්න සූදානම් වුණු බවට අපට කලින්ම තොරතුරු ලැබුණා. ඔවුන්ගේ ප්‍රථම පියවර වුණ වතුර ගැසීම අසාර්ථකවීම නිසා පහරදීමේ දෙවැනි සැලසුම ක්‍රියාත්මක කළා. නමුත් පාර්ලිමේන්තු කටයුතු ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන් විශාල පිරිසක්‌ එහි සිටි නිසා එය ද අසාර්ථක වුණා.

අප විසින් එදින පාර්ලිමේන්තුවේදී කරන ලද්දේ ඉතා සාමකාමී උද්ඝෝෂණයක්‌ බව තේරුණු ආණ්‌ඩුවේ ජ්‍යෙෂ්ඨයින් ඒ පිළිබඳව විරෝධය නොදැක්‌වුවත් මනුෂ නානායක්‌කාර, චන්ද්‍රසිරි සූරියආරච්චි, සී. බී. රත්නායක වැනි අය පැමිණ යම් පහරදීමක්‌ කරන්න උත්සාහ කළා. නමුත් එයත් අසාර්ථක වුණා. එහිදී අපි දුටුවා රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක්‌ ගැලරියේ සිටින මාධ්‍යවේදීන්ට බනිනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේදී වූ සිද්ධිය පටිගත වූ දේවල් මාධ්‍යයට ලබා නොදෙන ලෙසත් එම ඇමැතිවරයා පාර්ලිමේන්තු සේවකයන්ට පවසා තිබුණා.

එම අංශයේ සේවය කරනු ලබන එම සේවකයන්ට රාජකාරි ඉටු කරන්න පෙර ගෙදර යන්න කියලා නියෝග ලැබුණා. ඒ නිසා සී.ඩී. පට ලැබුණේ නෑ. මේ හේතුවෙන් විද්යුත් මාධ්‍යවල එම සිද්ධිය වාර්තා කිරීමට සිදු වුණෙත් නැහැ. එය තොරතුරු දැන ගැනීමේ අයිතියට වුණු බාධාවක්‌.

කෙසේ වෙතත් එහි සිටි මාධ්‍යවේදීන් මේ සිදුවීම යථා තත්ත්වයෙන්ම වාර්තා කර තිබුණා. ඒ පිළිබඳව එක්‌සත් ජාතික පක්‍ෂයේ ස්‌තුතිය අප ඔවුන් වෙත පුද කර සිටිනවා.

ඒ වගේම අප ප්‍රකාශ කළ යුතුයි විදුලි ගාස්‌තු වැඩි කිරීම සම්බන්ධයෙන් පසුගිය අඟහරුවාදා විදුලිබල ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කළේ තමන්ට කරන්න දෙයක්‌ නෑ, ඊට හිටපු ඇමැතිවරයා වගකිව යුතුයි කියලා. නමුත් චම්පික රණවක ඇමැතිවරයා බදාදා දින ප්‍රකාශයක්‌ කළා තමන් විදුලි ගාස්‌තු වැඩි කිරීමට තදින්ම විරුද්ධ වුණා කියලා.

එතකොට දැන් මේ විදුලි ගාස්‌තු වැඩි කිරීම අවජාතක දරුවෙක්‌ බවට පත්වෙලා. නමුත් මේක අවජාතක යෝජනාවක්‌ නොවෙයි. මේ බිල වැඩි කිරීමේ ප්‍රශ්නයේදී ගාස්‌තු වැඩි කිරීම සිදුවුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත්තු ගිවිසුමක්‌ අනුවයි.

එදා 2009 ජුලි 16 වැනිදා එවකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්‍ෂවරයා වුණු ඩොමිනික්‌ ටුවුස්‌ ඛාන් සමග ශ්‍රී ලංකා රජය ගිවිසුමක්‌ අත්සන් කළා. ඊට රජය වෙනුවෙන් අත්සන් කරන ලද්දේ එවකට නියෝජ්‍ය මුදල් ඇමැතිවරයා වුණු රංජිත් සියඹලාපිටිය, මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන දෙදෙනායි. එම ගිවිසුමෙන් පොරොන්දු වුණා අපේ ඛනිජ තෙල් සංස්‌ථාව සහ විදුලි බල මණ්‌ඩලය ලාබ ලබන ආයතන බවට පත් කරනවා කියලා. මෙම ගිවිසුම අත්සන් කළේ ජනාධිපතිවරයාගේ පූර්ණ ආශිර්වාදය ඇතිවයි.

මේ ගිවිසුම අත්සන් කළ පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.6 ක ණය මුදලක්‌ ශ්‍රී ලංකාවට ලබාදීමට අනුමැතිය හිමි වුණා. ඉන් පසුව 2010-09-04 දින රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තවත් ගිවිසුමක්‌ අත්සන් කළා. එයත් ඩොමිනික්‌ ටුවුස්‌ ඛාන් සමග නියෝජ්‍ය මුදල් හා ක්‍රමසම්පාදන ඇමැතිවරයා වූ සරත් අමුණුගම අත්සන් කළා. එයින් තවදුරටත් පොරොන්දු වුණා විදුලිබල මණ්‌ඩලය සහ ඛනිජ තෙල් සංස්‌ථාව 2011 වසරේදී ලාභ ලබන තත්ත්වයට පත් කරනවා කියලා.

නමුත් ආණ්‌ඩුවට මෙම එකඟතාවන් ක්‍රියාත්මක කරන්න බැරි වුණා. ඒත් ආණ්‌ඩුව 2013 ජනවාරි මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන එකක ණය මුදලක්‌ ඉල්ලුවා. ඒත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එය ප්‍රතික්‍ෂේප කළා කලින් වෙච්චි පොරොන්දුව ඉෂ්ඨ කළේ නැති නිසා.

ඉන් පසුව ආණ්‌ඩුව චීනයෙන් ණය මුදලක්‌ ඉල්ලුවා ඩොලර් බිලියන එකක. නමුත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය එතරම් හොඳ නැති නිසා චීනය එය ලබාදුන්නේ නෑ. නමුත් ආණ්‌ඩුවට එදිනෙදා වියදම් පියවා ගැනීමට අවශ්‍ය නිසා මෙරටේ තිබෙන ශක්‌තිමත්ම බැංකුව වන ජාතික ඉතිරි කිරීමේ බැංකුව හරහා ආණ්‌ඩුව ඩොලර් බිලියන එකක ණය මුදල ලබාගත්තා.

ඒත් මේ ආණ්‌ඩුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තවත් ණය මුදල් අවශ්‍ය නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අර කලින් වුණු පොරොන්දු ඉටු කිරීමටයි මේ විදිහට විදුලි ගාස්‌තු වැඩි කළේ. ඒ නිසා මෙයට වගකියන්න ඕනෙ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා, රංජිත් සියඹලාපිටිය, සරත් අමුණුගම නියෝජ්‍ය ඇමැතිවරුන් සහ මහබැංකු අධිපතිවරයායි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.