කුවේටයේ අනියම් සබඳතාවලින් බිහි වූ
දරු දෙදෙනා කටුනායකදී වෙනත් අයට දෙන්න හදලා

- සුරූපී ගෘහ සේවිකාවන් දෙදෙනා සහ දරුවන් ගැලවීමේ හමුදා භාරයට

මීගමුව සමූහ - විමල් කීර්ති

ගෘහ සේවිකාවන් වශයෙන් කුවේටය බලාගොස්‌ එහිදී ඉන්දීය ජාතිකයන් සමඟ අනියම් සබඳතා පවත්වා බිහි වූ දරුවන් දෙදෙනා ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඔවුන් කටුනායක ගුවන් තොටුපළේදී නන්නාඳුනන පුද්ගලයන්ට භාර දී තම නිවාස බලා යැමට තැත් කළ සුරූපී තරුණ විවාහක කතුන් දෙදෙනකු සහ බිළින්දන් දෙදෙනා මැයි මස 8 වැනි දින දක්‌වා ගැලවීමේ හමුදා භාරයට (පරිවාස භාරයට) පත් කිරීමට මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ඒ. එම්. එන්. පී. අමරසිංහ මහතා නියෝග කළේය.

කටුනායක ගුවන් තොටුපළ පොලිසිය මගින් විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ මැදිහත්වීම මත කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ සුරූපියන් වූයේ අම්පාර රජගහතැන්නේ සහ ගලෙන්බිඳුණුවැව ජනපදයේ පදිංචිකාරියන් වන විවාහක කතුන් දෙදෙනෙකි. ඔවුන් ශ්‍රී ලංකාවට රැගෙන ආ දරු දෙදෙනා මාසයක පමණ වයසේ පසුවේ. එම දරුවන් දෙදෙනා පිරිමි සහ ගැහැනු දරුවන් ය.

මෙම සුරූපී කතුන් දෙදෙනා සිය අත දරුවන් රැගෙන එද්දී තමන් පත් වු අකරතැබ්බය පිළිබඳ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවිකාවන්ට දැනුම් දී ඇත. එහිදී එම ගෘහ සේවිකාවන් තම දරුවන් කටුනායක ගුවන් තොටුපළේදී භාර ගැනීමට පැමිණෙන ලෙස දරුවන් නැති සිය ඥාතීන් වෙත දුරකථනය මගින් දැනුම් දී තිබේ. මෙම දරුවන් හදා වඩා ගැනීමට ඉදිරිපත් වූ කතක්‌ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක්‌ වන අතර. ඇය වසර 12 ක සිට දරුවෙකු නොලැබීමේ සොවින් වෙලී ඇත. අනෙක්‌ අය මිනුවන්ගොඩ ප්‍රදේශයේ දරුවන් නොමැති කාන්තාවකි. මෙම කාන්තාවන්ගේ දරුවන් ගැන තොරතුරු ලද දරුවන් නොමැති වෙනත් කාන්තාවන් ද එම දරු දෙදෙනා භාර ගැනීමේ අරමුණෙන් කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ තිබේ.

කටුනායක ගුවන් තොටුපල ආරංචි මාර්ග වලින් පැවසෙන පරිදි දරුවන් නොමැති දෙමාපියන් රැසක්‌ මෙම දරු දෙදෙනා භාර ගැනීමට ඉදිරිපත් වී තරගකාරී තත්ත්වයක්‌ ඇති වූ නිසා එම කාන්තාවන්ගේ රහස විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයට අනාවරණය වී ඇත. මෙම කාන්තාවන් සහ දරු දෙදෙනාගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ රෝස්‌ ප්‍රනාන්දු මෙනවියගේ උපදෙස්‌ මත නීතිඥ විකුම්තිලක මහතා පෙනී සිටියේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.