ජෝර්දාන් ගොස්‌ රෝගී වූ මව ලංකාවට එයි
"දිවයින" ඇතුළු උපකාර කළ සැමට ස්‌තුතියි

ප්‍රියරංග ඉලංගමුදලි - නල්ලදරන්කට්‌ටුව



ජෝර්දානයේ රැකියාවක යෙදී සිටියදී රෝගාතුරවූ සිය මව යළි ගෙන්වා දෙනමෙන් ඉල්ලා පසුගිය 23 වැනිදා හලාවත, කොළඹ පාරේ පිහිටි විදේශ සේවා නියුක්‌ති කාර්යාංශ කාර්යාලය ඉදිරිපිට උපවාසයක යෙදී සිටි දරු දෙදෙනා ඇතුළු පවුලේ සාමාජිකයන්ගේ ඉල්ලීම ඊයේ (25 දා) සාර්ථක විය.

මේ අහිංසක දරුවන්ගේ ඉල්ලීම කෙරෙහි අවධානය යොමු කළ වගකිවයුතු අංශ දින 2 ක්‌ ඇතුළත ජෝර්දානයේ සිටි කේ. ඒ. චන්ද්‍රdනි නිරෝෂා මහත්මිය ලංකාවට ගෙන්වා දීමට කටයුතු කර තිබේ. ඒ අනුව ඊයේ පෙරවරු 10.00 ට පමණ හලාවත, කරවිටාගාර යෝධ ඇළ බී හි පිහිටි නිවසට ඇය පැමිණියාය.

සිය මවගේ පැමිණීමෙන් ප්‍රීති ප්‍රමෝදයට පත් කාවින්ද්‍යා නිශාදි හා ලක්‍ෂිත උදය කුමාර යන දරු දෙදෙනා ඇය ඇඟ දැවටෙන අයුරු දැකගත හැකි විය. මෙහිදී අදහස්‌ දැක්‌වූ 5 ශේ්‍රණියේ අධ්‍යාපනය ලබන නව හැවිරිදි ලක්‍ෂිත උදය කුමාර මටත් නංගිටත් අද හරි සන්තෝසයි. අපේ අම්මා අපේ ගෙදර ආවා. ඒ නිසා මට අගෝස්‌තු මාසේ තියෙන ශිෂ්‍යත්ව විභාගයට හොඳින් ලෑස්‌තිවෙන්න පුළුවන්. අම්මා රට ගියාට පස්‌සේ පන්තියේ වැඩවලින් මම ගොඩක්‌ පස්‌සට ගියා. දැන් මට බයක්‌ නෑ. මට විභාග පාස්‌වෙන්න පුළුවන්. අම්මාව ගෙන්වා දීමට උදව් කරපු හැම දෙනාටම මම පිං දෙනවා.

යළි මව්බිමට පැමිණි චන්ද්‍රdනි නිරෝෂා මහත්මිය අදහස්‌ දක්‌වමින්, 2012.06.11 දා කුරුණෑගල පිහිටි ආයතනයකින් ජෝර්දානයට ගියා. යැමට පෙර අවශ්‍ය සියලු වෛද්‍ය පරීක්‍ෂණවලින් සමත් වුණා. නමුත් ගිහින් මාස 5 කට පසු මගේ කකුල් ඉදිමී ඇවිද ගන්න බැරි තත්ත්වයක්‌ ඇති වුණා. බෙහෙත් ගත්තත් අඩුවක්‌ වුනේ නෑ. අසනීප වුණාම එහේ ඒජන්සියට ගෙනත් දානවා. ආයේ ටිකක්‌ හොඳ වුණාම ගෙවල්වල වැඩට දානවා. පස්‌සේ මම මගේ මව් රටට යවන්න කියලා ඉල්ලා සිටියා. ඒ අය ඒ ගැන සැලකිල්ලක්‌ දැක්‌වූවේ නෑ. පස්‌සේ ලංකාවේ මගේ ගෙදරට දැනුම් දුන්නා. කොහොම හරි ඒජන්සිය තානාපති කාර්යාලයේදී පොරොන්දු වුණා මාව නොමිලේ ලංකාවට යවනවා කියලා. ඒ මම වැඩකරපු කාලේ වැටුපෙන් ඇ.ඩො. 400 ක්‌ කපලා. බෙහෙත්වලට කියලා තවත් ඩො. 50 කුත් කපාගෙන. ඒ විතරක්‌ නෙමෙයි මම මගේ වියදමින් ඩිනාර් 7 ක්‌ ගෙවා ගත්ත දුරකථන "සිම්" එක උදුරාගෙන කඩා දැම්මා. අසනීපයෙන් හිටිය දවස්‌වල "කෝල්" එකක්‌වත් ගන්න දෙන්නේ නෑ. ඒ තරම් දරුණු විදිහටයි අපිට එහිදී සැලකුවේ. මගේ වෛද්‍ය වාර්තාවක්‌ එතකොට දුන්නේ නෑ.

සැමියා වන සුගත් සංජීව මහතා (35) ප්‍රථමයෙන් මම ස්‌තුතිවන්ත වෙනවා නිරෝෂාව ලංකාවට ගෙන්වා ගැනීමට උපකාර කිරීම ගැන. ඒ පිළිබඳව වගකිව යුත්තන්ගේ අවධානය යොමු කිරීමට කටයුතු කළ "දිවයින" ඇතුළු සියලු මාධ්‍යට. ඒ වගේම ඒ වෙනුවෙන් ක්‍රියා කළ නිලධාරින්ටත් ස්‌තුතිවන්ත වෙනවා.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.