විදෙස්‌ ක්‍රීඩකයන්ටත් ශ්‍රී ලංකා ජාතික
රග්බි කණ්‌ඩායමේ දෙරටුව විවෘතයි


අසේල විතාන

ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්‌ඩායමට විදෙස්‌ ක්‍රීඩකයන් සහභාගි කර ගැනීම සහ දේශීය ක්‍රීඩකයන්ට වාර්ෂික කොන්ත්‍රාත්තුවක්‌ ලබාදීම පිළිබඳව ශ්‍රී ලංකා රග්බි සංගමය කටයුතු කරගෙන යන බව එහි ලේකම් රිස්‌ලි ඉලියාස්‌ මහතා 'දිවයින' ට පැවසීය.

ආසියානු රග්බි ශූරතාව දිනා ගැනීම සහ ලබන වසරේ පැවැත්වෙන ආසියානු පළමු කොටසේ µයිව් නේෂන් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ උපරිම දක්‍ෂතාවන් ලබා ගැනීම අරමුණු කරගෙන, ජාතික රග්බි ක්‍රීඩකයන්ට වාර්ෂික කොන්ත්‍රාත් පදනමක්‌ ලබාදීමට ශ්‍රී ලංකා රග්බි සංගමය තීරණය කර තිබේ.

"වාර්ෂිකව මිලියන 70 කට වැඩිය ශ්‍රී ලංකා ජාතික රග්බි නඩත්තුවට වියදම් වෙනවා. ඒත් අපිට ක්‍රීඩකයන්ට කොන්ත්‍රාත් පදනමක්‌ ලබා දිය යුතුයි. දැනට මාස තුනක වගේ තමයි ලබාදුන්නෙ. ඒත් ලබන ජූලි මාසයේ ඉඳල ක්‍රීඩකයන්ට වාර්ෂික කොන්ත්‍රාත් පදනමක්‌ ලබාදීමට මූලික කටයුතු මේ වන විට අවසන් කරල තියෙන්නෙ. ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ ආශිර්වාදය අප සංගමයට ලැබිල තියෙනවා. අනුග්‍රාහක ආයතනය සමගත් අපි කතා කරමින් ඉන්නෙ." යනුවෙන් ඉලියාස්‌ මහතා පැවසීය.

2015 රග්බි ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීමට නම් ලබන වසරේ පැවැත්වෙන ආසියානු µයිව් නේෂන් රග්බි තරගාවලියේදී ශ්‍රී ලංකාව ශූරයන් විය යුතු අතර දෙවැනි ස්‌ථානයට පත් වුවහොත් තවත් සුදුසුකම් ලැබීමේ වටයකින් පසු එම ලෝක කුසලාන සඳහා සහභාගි වීමේ අවස්‌ථාවක්‌ ඇත.

ජාත්‍යන්තර රග්බි සංගමයේ නීති රෙගුලාසිවලට අනුව ලොව බොහෝ ජාතික කණ්‌ඩායම්වලට වෙනත් විදෙස්‌ ක්‍රීඩකයන් ක්‍රීඩා කරන බැවින් ශ්‍රී ලංකාවටද ඉදිරියේදී විදෙස්‌ ක්‍රීඩකයන් සහභාගි කර ගැනීම පිළිබඳව රග්බි සංගමය අවධානය යොමු කොට තිබේ.

"ලොව බොහෝ රටවලට විදෙස්‌ ක්‍රීඩකයන් ක්‍රීඩා කරමින් ජාතික කණ්‌ඩායම් රග්බි ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණෙනවා. කිසිම විදෙස්‌ ක්‍රීඩකයෙක්‌ නැතුව අපේ ශ්‍රී ලංකා කණ්‌ඩායම ආසියානු ශූරතාව දිනා ගත්තා. අපිටත් හැකියාවක්‌ තියෙනවා හොඳ විදෙස්‌ ක්‍රීඩකයන් ගෙන්වා ගෙන ජාතික කණ්‌ඩායම නියෝජනය කරවන්න. ඒත් 2015 ලෝක කුසලාන ඉලක්‌ක කරගෙන ඒක කරන්න බැහැ. ඊට පස්‌සෙ එන ලෝක කුසලාන ඉලක්‌ක කරගෙන විදෙස්‌ ක්‍රීඩකයන් සහභාගි කරගැනීම පිළිබඳවත් අපි අවධානය යොමු කරල තියෙනවා. ඒකට විශේෂ නීති පද්ධතියක්‌ තියෙනවා. ඒ වගේම අපේ රටේ පිට පළාත්වල විදෙස්‌ ක්‍රීඩකයන්ට වැඩිය හොඳ දක්‍ෂ ක්‍රීඩකයන් ඉන්නවා. ඒ අයව ඉදිරියේදී ජාතික තලයට ගෙන එන්නත් වැඩ පිළිවෙළක්‌ සකස්‌ කරගෙන යන ගමන් විදෙස්‌ ක්‍රීඩකයන් පිළිබඳවත් අවධානය යොමු කරනවා." යනුවෙන් රිස්‌ලි ඉලියාස්‌ මහතා පැවසීය.

විදෙස්‌ ක්‍රීඩකයකු ජාතික කණ්‌ඩායමකට ක්‍රීඩා කිරීමට නම් ජාත්‍යන්තර රග්බි සංගමයේ නීති රීතිවලට අනුව එම විදෙස්‌ ක්‍රීඩකයා වසර තුනක්‌ එක දිගට අදාළ ජාතික කණ්‌ඩායමට ක්‍රීඩා කළ යුතු වේ.

රග්බි ලෝක කුසලානය 2015 සැප්තැම්බර් 18 දා සිට 31 දා දක්‌වා එංගලන්තයේදී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා රටවල් 20 ක්‌ සහභාගි වේ. මේ වන විටත් රටවල් 12 ක්‌ ස්‌ථිරව ඇති අතර ඉතිරි රටවල් 8 තීරණය වන්නේ ලබන වසරේ පැවැත්වෙන සුදුසුකම් ලබා ගැනීමේ තරගවලින් අනතුරුවය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.