රාජ්‍ය ඉංජිනේරු සංස්‌ථාව නින්දෙන්
අවදි කිරීමට ක්‍රීඩා ඇමැති වේවැල අතට ගනියි


ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ජාතික සැලැස්‌ම යටතේ ජනාධිපතිතුමාගේ උපදෙස්‌ පරිදි රුපියල් මිලියන 4,500 ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ, පළාත් හා දිස්‌ත්‍රික්‌ ක්‍රීඩා සංකීර්ණවල ඉදිකිරීම් කටයුතු කරන රාජ්‍ය ඉංජිනේරු සංස්‌ථාව හා ඉංජිනේරු කාර්යන් පිළිබඳ මධ්‍යම කාර්යාංශයේ මන්දගාමී ක්‍රියා පිළිවෙත නිසා, ක්‍රීඩා සංකීර්ණවල ඉදිකිරීම් කටයුතු ප්‍රමාදවීම ක්‍රීඩා අමාත්‍යංශයේ ඉලක්‌කයන්ට තදින් බලපා ඇති බැවින් අදාළ ඉදිකිරීම් කටයුතු වහාම කඩිනමින් නිමකරන ලෙස ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා රාජ්‍ය ඉංජිනේරු සංස්‌ථාවට හා ඉංජිනේරු කාර්යන් පිළිබඳව මධ්‍යම උපදේශන කාර්යංශයට දැනුම් දී ඇත.

ජාතික ක්‍රීඩා සංවර්ධන සැලැස්‌මට අනුව වසර 2016 දී නිම කිරීමට අපේක්‍ෂිත ඉලක්‌කයන් අනුව පළාත් ක්‍රීඩා සංකීර්ණ 09 ක්‌, දිස්‌ත්‍රික්‌ ක්‍රීඩා සංකීර්ණ 25 ක්‌ ඉදිකෙරෙන අතර ඉන් ප්‍රථම ක්‍රීඩාංගණය වන කිලිනොච්චිය-උතුරු පළාත් ක්‍රීඩා සංකීර්ණය, බදුල්ල-ඌව පළාත් ක්‍රීඩා සංකීර්ණය, අනුරාධපුර-උතුරුමැද පළාත් ක්‍රීඩා සංකීර්ණය, දිගන-මධ්‍යම පළාත් ක්‍රීඩා සංකීර්ණ හා මාතර දිස්‌ත්‍රික්‌ ක්‍රීඩා සංකීර්ණය, කළුතර දිස්‌ත්‍රික්‌ ක්‍රීඩා සංකීර්ණය, මඩකලපුව දිස්‌ත්‍රික්‌ ක්‍රීඩා සංකීර්ණ මේ වන විට ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර මෙම සියලු ක්‍රීඩාංගණ නිම කළ යුතු දින වකවානු ලබාදී ඇතත් රාජ්‍ය ඉංජිනේරු සංස්‌ථාව හා ඉංජිනේරු කාර්යන් පිළිබඳව මධ්‍යම උපදේශන කාර්යාංශයේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාදවීම හේතුවෙන් ක්‍රීඩා අමාත්‍යංශය මහත් අසීරුතාවකට පත්වී තිබේ.

ක්‍රීඩා අමාත්‍යාංශය විසින් මෙම ක්‍රීඩාංගණවල ඉදිකිරීමේ කටයුතු නිම කළ යුතු කාලපරිච්ඡේදයන් පිළිබඳව දිගින් දිගටම රාජ්‍ය ඉංජිනේරු සංස්‌ථාව දැනුවත් කර ඇතත් එම අංශයන්ගේ පවතින මන්දගාමී පිළිවෙත ක්‍රීඩා අමාත්‍යංශයේ දෝෂදර්ශනයට ලක්‌වී ඇති අතර ඒ පිළිබඳව විෂයභාර අමාත්‍යතුමන්ද දැනුවත් කර ඇතැයි පවසන ක්‍රීඩා අමාත්‍යංශය මේ පිළිබඳව කඩිනම් පියවරක්‌ ගෙන මෙම ක්‍රීඩා සංකීර්ණ ඉදිකිරීම් ව්‍යාපෘති වහාම කඩිනම් කරනු ඇතැයි විශ්වාසය පළ කරයි. දිගින් දිගටම මෙම අංශවල ඉදිකිරීම් කටයුතුවල ප්‍රමාදයන් පවතින්නේ නම් මේ පිළිබඳ ඉදිරි පියවරක්‌ ගැනීමට ක්‍රීඩා අමාත්‍යංශයට සිදුවන බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අදාළ අංශවලට දැනුම් දී ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශය අවධාරණය කරයි.

(ක්‍රීඩා අමාත්‍යාංශ නිවේදනයකි)
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.