ගොනෙක්‌ පාසලකට පැන ගුරුවරියකට අනී !

ගොනෙක්‌ පාසලකට පැන ගුරුවරියකට ඇන තිබේ. උගේ අංවල 'එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය' යනුවෙන් බෝඩ් එකක්‌ ගසා තිබී ඇත. පසුව සොයා බලන විට මේකා ගොනකු නොව වයඹ පළාත් සභාවේ මන්ත්‍රී ආනන්ද සරත් කුමාර බව දැන ගන්නට ලැබිණි. ගොනා කර ඇත්තේ ගුරුවරියට ඇනීම නොව ඇය පාසලේ සිය දහස්‌ ගණනක්‌ සිසු දරුවන් ඉදිරිපිට දණ ගැස්‌වීමය. මෙය සිදු වුණේ නවගත්තේගම පාසලකදීය. ගුරුවරිය දණගැස්‌සවීම සඳහා කළ වරද, ඇය සරත් කුමාරගේ දියණියගේ පාසල් නිල ඇඳුමේ කොට සාය, එහි වාටිය ලෙහා දිගු කර දීමය. ඉන් කෝපයට පත් ගොනා ගුරුවරියට ඇනීම සඳහා විදුහලට රිංගුවේ අමුඩය පිටින් දැයි අපි නොදනිමු. යුද ජයග්‍රහණයෙන් රට නිදහස්‌ කර දුන් ජනාධිපතිතුමා සහ ආණ්‌ඩුව අප්‍රසාදයට පත් කර ප්‍රභාකරන් සමග ගිවිසුම් ගැසූ විශ්‍රාමික නායිකාවන්/නායකයන් යළි බලයට ගෙන ඒමේ කුමන්ත්‍රණයක්‌ ආණ්‌ඩුව තුළ පවතී. මෙබඳු පළාත් සභා මන්ත්‍රීවරුන් තබා ගැනීම සම්බන්ධයෙන් ජනතාව කලකිරෙන්නේ රාජපක්‍ෂවරුන් ගැනය. එය නිලය බලා හරියටම එල්ල කළ පහර දීමකි.

වයඹ පළාත් සභාවට කැත වැඩ ගැන ඉතිහාසයක්‌ හෙවත් පෙර වැරදි තිබේ. ගරු ජනාධිපති චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය රට පාලනය කරන කාලයේදී පැවැති පළාත් සභා මැතිවරණයකදී ජයගත් ආණ්‌ඩු පක්‍ෂයේ පළාත් සභා මන්ත්‍රීවරයකු එක්‌සත් ජාතික පක්‍ෂයේ ආධාරකාරියක නිරුවත් කර මහ මග දිගේ ඇවිදීමට සැලැස්‌වීය. මෙය මේ රටේ මැතිවරණ ඉතිහාසය ගඳගැස්‌සවූ අශුචි පැල්ලමක්‌ ලෙස ඉතිහාසයට එක්‌ව තිබේ. පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර ද එකී අශූචි ඉතිහාසයට අයත් කුණු පණුවකු ලෙස ක්‍රියා කර ඇත. තුට්‌ටු දෙකේ අමනයකු ඉදිරිපිට දණගැසීමට සිදු වූ පාසල් ගුරුතුමිය සිය සිසු දරු දැරියන්ට මුහුණ දෙන්නේ කෙසේද? ඊළඟ දවසේදී තරුණ සිසුවියක්‌ නාන ඇඳුම පිටින් පාසලට ආවොත් එය ඉවසා සිටින්නට ගුරුතුමියට සිදුවන්නේද? වරදක්‌ කළ දරුවකුට දඬුවම් කිරීමට පෙර එම දරුවා පළාත් සභාවක තුට්‌ටු දෙකේ නූගත් දේශපාලනඥයකුගේ (මෙබඳු හරකුන්ට දේශපාලනඥයා යන උතුම් වචනය යෙදීමට සිදුවීම අපේ ද කරුමයකි.) දරුවකු ද යන්න සොයා බැලීමට මුළු ලංකාවේම ගුරුවරුන්ට සිදුවන්නේද? මේවා වැදගත් ප්‍රශ්නය.

මේ රටේ දේශපාලනය තුළ සදාචාරාත්මක ගැටලු ඇති කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නොව ප්‍රාදේශීය සභා මන්ත්‍රීය. හොරු, මිනිමරුවෝ, ස්‌ත්‍රී දූෂකයෝ ඔවුන් අතර සිටිති. දැන් පළාත් සභාවලට ද මෙකී කුණු පණුවන් රිංගාගෙන ඇත. ආණ්‌ඩුව මෙය බරපතළ ලෙස සලකා බැලිය යුතුව තිබේ. මන්දá මේ උන්මත්තකයන් කවදා හෝ දවසක පාර්ලිමේන්තුවට ගියොත් විය හැකි අනර්ථය ඉමහත්ය. එදාට ඒ තත්ත්වයට මුහුණ දීමට ගෝඨාභය රාජපක්‍ෂලා දුසිමක්‌වත් අවශ්‍ය වනවා ඇත. අවාසනාවකට මෙන් අපට සිටින්නේ ගෝඨාභය රාජපක්‍ෂලා එක්‌කෙනකු පමණි. ජාතියක්‌ විසින් වරකට බිහි කරනු ලබන්නේ ද එබඳු පුද්ගලයන් එක්‌ අයකු පමණි.

එහෙත් උමතු දේශපාලන කුණු පණුවන් ලක්‍ෂ ගණන් බිහි කිරීමට ජාතියකට හැකිය. නවගත්තේගම පාසලේ සිද්ධිය සිදුවන අවස්‌ථාවේදී ඊට එරෙහිව ගුරු මණ්‌ඩලය සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඩෙක්‌ස්‌ කකුල් සහ පුටු කකුල් අතට නොගැනීම ගැන අපි මහත් සේ දුක්‌ වෙමු. මෙය කොළඹ පාසලක සිදු වී නම් පළාත් සභා මන්තිරියාට ගෙදර යාමට සිදු වන්නේ කලිසම ඔළුවේ ඔතාගෙන ය. සමහර විට කලිසම එතූ ඔළුව වෙනමත්, ඔළුව නැති ඇඟ වෙනමත් ගෙදර යෑවීමට වුව සූදානම් ගුරුවරුත් ශිෂ්‍යයෝත් කොළඹ සිටිති. මෙය විශ්වවිද්‍යාලයක සිදු වී නම් පළාත් සභා මන්ත්‍රී ඇඳ සිටි ඇඳුම පමණක්‌ ගෙදර යෑවෙනවා ඇත. සිරුර පොලිස්‌ මෝචරියෙන් භාරගත හැකිය.

ගුරුවරිය දණ ගැස්‌වූ පළාත් සභා මන්තිරියා සමාජ උවදුරක්‌ සේ නම් කර කටයුතු කරන ලෙස වයඹ පළාත් වාසීන්ගෙන් ඉල්ලමු. ඔහු පක්‍ෂයෙන් වහා නෙරපා මන්ත්‍රී ධුරයද අහිමි කරන ලෙස ශ්‍රී.ල.නි.ප. මහ ලේකම් මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලමු.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.