බෝම්බ පිපිරෙන්න තිබුණේ හවස
බුද්ධ පූජාව පවත්වන වේලාවටයි...

බුද්ධගයාවට එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරයට එරෙහිව ඊසාන දිග ඉන්දියාවේ ත්‍රිපුර ප්‍රාන්තයේ භික්‌ෂුන් වහන්සේලා සත්‍යග්‍රහයක නිරත වී සිටි අයුරු මෙහි දැක්‌වේ.

මුස්‌ලිම් ආක්‍රමණිකයෝ ක්‍රි. ව. 1199 දී බුද්ධගයාව විනාශ කළ බව ඉතිහාසයේ සඳහන් වේ. එලෙසම යළිත් මේ පුදබිමට එරෙහිව මුස්‌ලිම් අන්තවාදී ප්‍රහාරයක්‌ එල්ල වූයේ ඉකුත් ඉරිදාය. බුද්ධගයාව මහාබෝධි විහාර සංකීර්ණයට හා ඒ අවට බෝම්බ 13 ක්‌ රඳවා තැබීමට ඉන්දීය මුජහිඩීන්වරු කටයුතු කළහ. ඒ සෑම බෝම්බයක්‌ම තැබිය යුතු තැන ඉංග්‍රීසි හා උර්දු භාෂාවෙන් සටහන් කර තිබිණි. මහාබෝධි විහාරය අසල පිහිටි දැවැන්ත ජපන් පිළිමයේ අඩි 20 ක්‌ උඩින් බෝම්බයක්‌ තැන්පත් කර තිබුණද වාසනාවට එය පුපුරා ගියේ නැත. ඇත්තෙන්ම මෙම බෝම්බය තැන්පත් කළ යුත්තේ ඉනිමගක ආධාරයෙනි. නමුත් ඉනිමගකින් නැග බෝම්බ තැන්පත් කරනු කිසිවකු විසින් දැක නැත. මේ සෑම බෝම්බයක්‌ම සවස 5.30 ට පුපුරා යැමට සකස්‌ කර තිබුණු බෝම්බ 13 න අතරින් පුපුරා ගියේ 10 ක්‌ පමණි. කුඩා ගෑස්‌ ටැංකි යොදාගෙන සකස්‌ කර තිබූ එම බෝම්බ පුපුරා නොයැමට එක්‌ හේතුවක්‌ වී ඇත්තේ බුද්ධගයාවේ අලුයම් කාලයේ පවතින ශීත ස්‌වභාවයයි. ඒ අනුව බෝම්බ පුපුරා ගියානම් පිපිරෙන්නේ සවස බුද්ධ පූජාව පටන්ගන්නා වේලාවටයි.

මහාබෝධි විහාරයේ ආරක්‍ෂාව පිණිස සීසීටීවී කැමරා 15 ක්‌ සවිකර ඇති අතර ඒවායින් ලබාගනු ලැබූ දර්ශන අනුව පුද්ගලයන් පස්‌දෙනකු හා කාන්තාවක පිළිබඳ සැක ඉපදී ඇති අතර මොවුන් ප්‍ර්‍රහාරයෙන් පසු අතුරුදන්ව තිබේ. මේ පිරිස විහාර සංකීර්ණයේ පිරිසිදු කිරීම්වල නිරත වී තිබේ. 2008 ජායිපූර් හා 2012 පූනේහි පුපුරා ගිය බෝම්බය හා සමාන බෝම්බ බුද්ධගයා පුදබිමෙන් පුපුරා ගොස්‌ තිබේ.

කවරක්‌ නමුත් බුද්ධගයා විහාරයට බෝම්බ ප්‍රහාර එල්ලවී පැය 36 කට පසුව සමස්‌ත ලෝකවාසී බෞද්ධයින්ගේ අති උතුම් පූජනීය භූමියේ පිරිත් හඬ යළිත් ඇසෙන්නට විය. බෞද්ධයෝ සාධුකාර දෙන අයුරුද අසන්නට ලැබිණි. ශ්‍රී ලංකාව, බුරුමය, තායිලන්තය ඇතුළු රටවල් පනහකට අයත් භික්‌ෂූන් වහන්සේලා එක්‌ව බුද්ධ වන්දනාවේ යෙදී පිරිත් කියන්නට වූහ. බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ ඉරිදා දිනයේ වන අතර සඳුදා පස්‌වරු 6 ට මේ පුණ්‍ය භූමිය යළිත් උවැසි උවැසියනට විවෘත විය. සිය ගණන් දෙනා පෝලිම් ගැසී මහාබෝධි විහාරස්‌ථානය වන්දනා කරන්නට සැදී පැහැදී සිටි අතර බිහාර් පොලිස්‌ නිලධාරීහු සෑම අයෙක්‌ම දැඩි ලෙස සෝදිසි කර විහාර භූමියට ඇතුළු කර ගත්හ.

මෙම ප්‍රහාරය පිළිබඳව ඉන්දියාවේ ප්‍රධාන විපක්‍ෂය වන භාරතීය ජනතා පක්‍ෂය එරට රජයට එනම් කොංග්‍රස්‌ ආණ්‌ඩුවට දැඩි ලෙස චෝදනා කරයි. භාරතීය ජනතා පක්‍ෂ සභාපති රාජනාත් සින් හා අරුන් ජෙට්‌ලි, රවිශන්කර් ප්‍රසාද් යන පක්‍ෂ ප්‍රධානීහු ඉකුත් අඟහරුවාදා මහබෝධි විහාරයේ පරීක්‍ෂණ චාරිකාවක යෙදෙමින් සිදුවී ඇති විනාශය සියෑසින්ම දැකබලා ගත්හ.

zzකොංග්‍රස්‌ ආණ්‌ඩුව ඡන්ද බලාගෙන දේශපාලනය කිරීම නිසා රටේ ආරක්‍ෂාව අර්බුදයට ලක්‌වී ඇති බව භාරතීය ජනතා පක්‍ෂ සභාපතිවරයා ප්‍රකාශ කර ඇත. එදා නාලන්දා විශ්වවිද්‍යාලයට පහරදී භික්‍ෂුන්වහන්සේලා පන්දහසක්‌ ඝාතනය කළ අන්තවාදීන්ම අද බුද්ධගයාවේ බෝම්බ පුපුරුවා බෞද්ධ භික්‍ෂූන්ගේ ලේ සොලවා ඇත. මේ ආරම්භවී ඇත්තේ කවර ගැටුමක්‌ද? ශිෂ්ටාචාරයේ ගැටුමක්‌ද? ආගමික යුද්ධයක්‌ද?

වරදත්ත අකලංක

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.