බුද්ධගයා ප්‍රහාරය; ඉන්දියාවේ උඩඟුකම



ඉන්දීය දේශපාලකයෝ "ත්‍රස්‌ත සංචාරයේ" යෙදෙන බව එරට මාධ්‍යවේදීහු පවසති. ත්‍රස්‌ත සංචාරය යනු බෝම්බ ප්‍රහාරයක්‌ සිදුවූ සැනින් අගමැතිවරයා, සෝනියා ගාන්ධි මෙන්ම රජයේ ප්‍රබලයන් වහාම අදාළ ප්‍රාන්තයට ගොස්‌ විපත ගැන සොයා බැලීමයි. පසුගිය 11 වැනි බදාදා දිනයේ බුද්ධගයාව අසල අඩි 80 ක්‌ උසැති ජපන් බුද්ධ ප්‍රතිමාව අසල වෙළෙ¹මේ යෙදෙන පිරිස වෙත පැමිණි පොලිස්‌ නිලධාරීන් ප්‍රකාශ කළේ වහාම මේ කඩ අස්‌කර ගන්නා ලෙසයි. ටික වේලාවකට පසුව දැන ගැනීමට ලැබුණේ තව පැය දෙකකින් මධ්‍යම රජයේ ස්‌වදේශ කටයුතු ඇමැති සුශිල් කුමාර් සින්ඩේ බුද්ධගයාවට පැමිණීමට නියමිත බවයි.

බදාදා දහවල් වෙද්දී ලා කොළ පැහැති සාරියකින් සැරසී සෝනියා ගාන්ධි මේ පුදබිම වෙත පැමිණියේ තම ස්‌වදේශ කටයුතු ඇමැතිවරයා ද සමගය. ඇගේ මුහුණේ පැවැතියේ දුක්‌මුසු ස්‌වභාවයක්‌ බව මෙම ස්‌ථානයේ සිටි නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත්පතේ අමිතාවා කුමාර් සිය ලිපියේ සටහන් කර තිබිණි. බුද්ධගයා විහාරය අසල සුජාතා හෝටලයේ අරක්‌කැමියකු ලෙස සේවය කරන ඉන්දියානුවකුගේ දරුවන් දෙදෙනා වන 13 හැවිරිදි සෝනු හා 8 හැවිරිදි සුප්‍රියා යන දෙදෙනාම පාසල් යන්නේ ජපන් බුදුපිළිමය අසලිනි. 07 වැනිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු දින කිහිපයක්‌ම සෝනුලාගේ පාසල ද වසා දමා තිබිණි. සෝනු පවසන්නේ විහාරයට බෝම්බ තැබුවේ පාකිස්‌තාන ජාතිකයන් විසින් බවයි. පාකිස්‌තාන් ජාතිකයෙක්‌ මීට පෙරත් ඉන්දියාවේ බෝම්බ පිපිරෙව්වා. ඔවුන් තමයි මේක කරන්න ඇත්තේ යනුවෙන් සුප්‍රියා ද ප්‍රකාශ කළාය. මේ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ ටිබෙට්‌ ජාතිකයෙක්‌ වන ටෙන්සින් ඩොර්ජි තවමත් මගධ රෝහලේ දෙවැනි වාට්‌ටුවේ ප්‍රතිකාර ලබයි. අඟල් පහක්‌ දිගැති යකඩ කැබැල්ලක්‌ ඔහුගේ වම් කකුල පසාරු කරගෙන ගොස්‌ ඇත. 1959 සිට ඉන්දියාවේ ජීවත්වන ටෙන්සින් චීන හමුදා ආක්‍රමණය නිසා ඉන්දියාවට පැන ඇවිත් තිබෙන්නේ 8 හැවිරිදි වියේදීය. 1959 දී ඉන්දියාවට පැන එද්දී ඔහුගේ දෙමාපියන් දෙදෙනාම මියගොස්‌ ඇත. මුලින්ම ලඩාත්හි ජීවත්වූ ඔහු පසුව 1976 සිට 2002 දක්‌වා ඉන්දීය හමුදාවේ පාබල සෙබළකු ලෙස සේවය කර ඇත. හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීමෙන් පසුව හෙතෙම බුද්ධගයාවේ ටිබෙට්‌ පන්සලක සේවක පරිපාලකයකු ලෙස සේවය කරමින් සිට ඇත. පසුගිය අට වසර පුරාම ඩොර්ජි අලුයම 4 ත් 6 ත් අතර ලෝක සාමය වෙනුවෙන් බුද්ධගයා පුදබිමේ වන්දනාවේ යෙදී ඇත. ඩොර්ජිගේ ඇඳට එහා ඇඳේ මේ බෝම්බ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ බුරුම භික්‍ෂුව වන ගා හිමියෝ ප්‍රතිකාර ලබති. නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත්පතේ අමිතාවා කුමාර් මේ හිමියන්ගෙන් විමසා ඇත්තේ මේ ප්‍රහාරයට හේතුව බුරුමයේ ඇතිව තිබෙන බෞද්ධ මුස්‌ලිම් ගැටුම විය නොහැකිද යන්නයි. නමුත් ගා හිමියෝ එය තරයේ ප්‍රතික්‍ෂේප කර ඇත. බුද්ධගයා ප්‍රහාරයෙන් පසුව ඔයෑ ඊමාdය් සි Sපසකකසබට සබ ඊදායට්‌හ් යනුවෙන් ලිපියක්‌ ලියූ අමිතාවා කුමාර් නිව්යෝර්ක්‌හි වෙසෙන ඉංගී්‍රසි මහාචාර්යවරයෙකි.

බුද්ධගයා ප්‍රහාරය සිදුවී දැන් සති දෙකක්‌ ගතවී ඇත. එහෙත් මේ ප්‍රහාරය ගැන කතා කිරීම මාධ්‍ය මගින් නතර කර නැත. ඇත්තෙන්ම ලෝකවාසී බෞද්ධයෝ තවමත් මේ ප්‍රහාරය ගැන කනගාටු වෙති. බුද්ධගයා ප්‍රහාරයෙන් දින දෙකකට පසු ඉන්දීය ආරක්‍ෂක උපදේශක ශිවශංකර් මෙනන් ශ්‍රී ලංකාවට පැමිණියේ. බිහාර් ප්‍රාන්තයේ සිදුවූ ත්‍රස්‌ත ප්‍රහාරය ගැන කතා කරන්නට නම් නොවේ. උතුරු පළාත් සභාවට ඉඩම් හා පොලිස්‌ බලතල ලබාදීම ගැන යළිත් ලංකා රජයට අවධාරණය කරන්නටය. ඔහු බුද්ධගයා ප්‍රහාරය ගැන ලංකා රජය දැනුවත් කළා ද යන්න අපට පැහැදිලි නැත. කවරක්‌ වෙතත් ඉකුත් 11 වැනිදා බොදු බලසේනා සංවිධානයේ හිමිවරු පෙළපාලියෙන් ගොස්‌ බුද්ධගයා පින්බිම ආරක්‍ෂා කර දෙන ලෙස ඉල්ලමින් සකස්‌ කර තිබූ පෙත්සම් භාර ගන්නට ඉන්දීය මහ කොමසාරිස්‌ කාර්යාලයේ කිසිවකු පැමිණියේ නැත. මෙය බලවත් නිග්‍රහයකි. ඉන්දියාව සිතන්නේ බුද්ධගයා ප්‍රහාරය යනු එරට අභ්‍යන්තර ප්‍රශ්නයක්‌ කියාද? නව ඉන්දීය තානාපති වයි. ආර්. සින්හා මේ ලිපි භාර නොගත්තේ මෙරට බෞද්ධයන්ගේ චිත්ත පීඩාවන් ගැන තැකීමක්‌ නොකරන නිසාද? බුද්ධගයාව යනු ලෝක උරුමයකි. බෞද්ධයන් විශ්වාස කරන්නේ ලෝකයේ කේන්ද්‍රය පිහිටා ඇත්තේ බුදුන් බුද්ධත්වයට පත්වූ ස්‌ථානයේ කියාය. එවන් තත්ත්වයක්‌ තුළ ඉන්දියාව මෙම පෙත්සම් භාර නොගැනීම බලවත් නිග්‍රහයක්‌ බව සටහන් කළ යුතුය. එය ඔවුන්ගේ උඩඟු භාවය ප්‍රකාශ කිරීමකි.

ඉන්දියාව උතුරු පළාත් සභාවට ඉඩම් හා පොලිස්‌ බලතල දිය යුතු යෑයි තර්ජනය කරද්දී අනෙක්‌ පසින් මෙරට බෞද්ධයන්ගේ දුක්‌ගැනවිල්ල ලියූ ලිපිය භාර ගැනීමට අකමැතිය. නව ඉන්දීය තානාපතිවරයා එනම් සින්හා මහතා කටයුතු කිරීමට උත්සාහ දරන්නේ තවත් ජොතීන්ද්‍රනාත් ඩික්‌සිත් කෙනකු ලෙසද? පොලිස්‌ බලතල ගැන කතා කරන ඉන්දියාව බිහාර ප්‍රාන්තයේ පොලිසියේ ආකාර්යක්‍ෂමතාව ගැන මුනිවත රකී. බුද්ධගයා බෝම්බයෙන් දින කිහිපයකට පසු මහාබෝධි විහාර සංකීර්ණය තුළ පිස්‌තෝලයක්‌ ද ඉනේ ගසාගෙන බීමතින් සිටි සිවිල් පොලිස්‌ නිලධාරියකු පිළිබඳ පුවතක්‌ එරට රූපවාහිනි ප්‍රවෘත්තිවල විකාශය විය. පොලිස්‌ බලතල ප්‍රාන්ත සභාවලට පැවරීමෙන් සිදුවන අකාර්යක්‍ෂමතාව මහබෝධි බෝම්බ ප්‍රහාරයෙන්ම මනාකොට වැටහිණි. එහෙත් ඉන්දියාවේ උද්දච්ඡභාවය බොදු බල සේනාවේ පෙත්සම භාර නොගැනීම සමගම හොඳින් වැටහිණි.

ඉන්දියාවේ ආරක්‍ෂක අංශ මගින් බුද්ධගයා ප්‍රහාරය ගැන සැක කරන චීවරධාරියකුගේ ඡායාරූපයක්‌ මාධ්‍යවලට නිකුත් කර ඇත. සී.සී.ටී.වී. කැමරා දත්තවලට අනුව මොහු සිවුරක්‌ හැඳ ඉකුත් 07 වැනිදා පාන්දර 3.30 ත් 4.30 ත් අතර විහාර සංකීර්ණයේ සැරිසරා ඇත. මේ පුද්ගලයා සැරිසරනු දුටු බව එක්‌ ඉන්දියානුවෙක්‌ ද, ශ්‍රී ලාංකිකයෙක්‌ හා තායිලන්ත ජාතිකයෙක්‌ ආරක්‍ෂක අංශවලට හෙළි කර ඇත. මේ පර්යේෂණවලට තවත් කොපමණ කාලයක්‌ ගතවේද යන්න පැහැදිලි නැත. පර්යේෂණවල තත්ත්වය කෙසේ වෙතත් බිහාර ආණ්‌ඩුව කුඩා ගෑස්‌ සිලින්ඩර විකිණීම තහනම් කර ඇත. මන්ද බුද්ධගයා විහාර සංකීර්ණය හා ඉන් පිටත තැබූ බෝම්බ සෑදීමට උපයෝගී කරගෙන තිබුණේ මේ කුඩා ගෑස්‌ ටැංකි, යකඩ ඇණ හා බයිසිකල් බෝලය. මේ බයිසිකල් බෝල යෙදූ බෝම්බ පුපුරා ගොස්‌ වජ්‍රාසනය අසල පඩි පෙළටත් හානිවී තිබිණි.

බුද්ධගයාවට එල්ලවූ ප්‍රහාරය බෞද්ධ ශිෂ්ඨාචාරයේ හදවතට එල්ලවූ ප්‍රහාරයකි. එම නිසා ඉන්දීය බලධාරීහු මේ ම්ලේච්ඡ ප්‍රහාරයට වගකිවයුතු සියලු දෙනාම අත්අඩංගුවට ගෙන දඬුවම් කළ යුතුය. එසේ නොවී මේ බෝම්බ ප්‍රහාර හෙළා දකිමින් නිවේදන නිකුත් කළ පලියට සියලු ප්‍රශ්න විසඳෙන්නේ නැත. ලොව පුරා වෙසෙන කෝටි 35 ක්‌ බෞද්ධයොත් මේ පරීක්‍ෂණ දෙස ඉතා උනන්දුවෙන් බලා සිටිති.

චතුර පමුණුව
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.