කොහොමද ටිකිරි මොළේ !

මධ්‍යම පළාත් ආණ්‌ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව සහ එම පළාතේ වෛද්‍යවරුන් අතර ආරවුලක්‌ හටගෙන තිබේ. ආණ්‌ඩුකාරයා තමන්ට අපහාස කළ බව කියමින් එම වෛද්‍යවරු පසුගියදා වැඩ වර්ජනය කළහ. ආණ්‌ඩුවේ දොස්‌තර සිටින්නේ කාගේ හෝ ඇඟේ එල්ලී අඩුම ගණනේ සංකේත වැඩ වර්ජනයක්‌වත් කරන්නට ය. සාමාන්‍යයෙන් බලගතු දේශපාලනඥයකුගේ හෝ රජයේ නිලධාරියකුගේ ඇඟේ එල්ලී ස්‌වකීය වැඩ වර්ජන අරමුණ වෙත යැමට ඔවුන් තුළ වැඩි කැමැත්තක්‌ තිබේ. තත්ත්වය එසේ තිබියදී ආණ්‌ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව වෛද්‍යවරුන් සමඟ ආරවුලක්‌ ඇතිකර ගැනීමෙන් 'යන කෝච්චියකට' බෙල්ල තබා තිබේ. එයින් හටගත් අතුරුඵලයක්‌ (වර්ජනයෙන්) වෛද්‍යවරුන්ට හෝ ටිකිරිට කිසිම පාඩුවක්‌ සිදු වී නැත. පාඩුව සිදු වූයේ දුප්පත් රෝගී ජනයාට පමණි.

ටිකිරි - දොස්‌තර අර්බුදය හටගත්තේ පසුගිය 18 වැනිදා නුවරඑළියේ හාවාඑළිය ප්‍රදේශයේ පැවැති වෛද්‍යවරුන්ගේ ප්‍රගති සමාලෝචන රැස්‌වීමකින් පසුව ය. වෙන වැඩකට එතැනට ගිය ආණ්‌ඩුකාරයා, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා විසින් ප්‍රගති සමාලෝචන රැස්‌වීමට සම්බන්ධ කරගන්නා ලදී. නුවරඑළිය පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට අලුත් වාහන නිකුත් කර ඇතත් ඒවා රැගෙන යැමට ඔවුන් පැමිණ නැති බව ටිකිරිට මේ අතර සිහිපත් විය. "උඩඟු නොවී සිටීම කාටත් හොඳයි" යනුවෙන් තමා විසින් ඒ අනුව පවසන ලදැයි ටිකිරි කොබ්බෑකඩුව පිළිගෙන තිබේ. මෙය දොaෂාරෝපණයක්‌ හෝ අපහාසයක්‌ ලෙස සැලකූ වෛද්‍යවරු වැඩ වැරූහ. එහෙත් එම වගන්තිය දොaෂාරෝපණයක්‌ හෝ අපහාසයක්‌ නොවන බව ඔහු කියයි.

"දිවයින" වෛද්‍යවරුන් වැඩ වර්ජනය කරනවාට එක හෙළාම විරුද්ධ ය. එම වර්ජනවලට නිර්දය ලෙස පහර දෙමින් වෛද්‍යවරුන්ගේ පතුරු ගැලවීම මේ පුවත්පතේ සිරිත ය. එහෙත් හාවාඑළියේ සිද්ධියේදී අපට වෛද්‍යවරුන්ගේ පැත්ත යම් ප්‍රමාණයකට ගැනීමට සිදු වේ. අලුත් වාහන රැගෙන යැමට නොපැමිණීමෙන් වෛද්‍යවරුන් සිය උඩඟු භාවය ප්‍රදර්ශනය කරන්නේය යනුවෙන් පූර්ව විනිශ්චයක පිහිටන ටිකිsරි "උඩඟු නොවුණොත් හොඳයි" යනුවෙන් ඔවුන්ට අවවාද කරයි. පිළිගත් වෘත්තිකයන් පිරිසක්‌ සම්බන්ධයෙන් පූර්ව විනිශ්චයක පිහිටා ඔවුන්ට අවවාද කිරීමට ටිකිරි කොබ්බෑකඩුව ඔවුන්ගේ පියා හෝ මහප්පා නොවේ. වචනයක හෝ වගන්තියක අර්ථය එය පවසන ස්‌වරයට හෝ එය පවසන පරිසරයට අනුව වෙනස්‌ වෙයි. උදාහරණයක්‌ වශයෙන් පාසල් ශිෂ්‍යයන් පිරිසක්‌ අමතා "උඩඟු නොවී සිටින්නැයි" කීමෙහි අර්බුදයක්‌ නැත. එහෙත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අමතා එබන්දක්‌ කීවොත් ඔවුන් ඊට උත්තර වශයෙන් හූ කියන්නට ඉඩ තිබේ. ගුරුවරුන්ගේ රැස්‌වීමකදී මෙබන්දක්‌ කීවොත් එය වෘත්තීයමය අරගලයක්‌ දක්‌වා යැමට ඉඩ තිබේ. පොලිසියකට ගොස්‌ "උඩඟු නොවන්නැ" යි කීවොත් ඕ. අයි. සී. සිට 'රිසව් රාළහාමි' දක්‌වා සියලු දෙනා ඔබට තඩි බානවා ඇත. මේ ගුටි සියලු බදු එකතු කෙරුණු ගුටි ය. එහි තේරුම ඒවා ඉතා බරපතළ ගුටි බව ය.

මේ රටේ දේශපාලනඥයෝ කට නිසා අනවශ්‍ය ප්‍රශ්න ඇතිකර ගනිති. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා රජයේ සේවකයන් අමතා කතා කරන විට කොතරම් ප්‍රවේශම් සහගත ලෙස කතා කරන්නේද යන්න සලකා බැලීම වැදගත් ය. ඔහු මිනිසුන්ගේ ආත්ම ගෞරවයට අත තබන්නේ නැත. මෙයට වසර කිහිපයකට පෙර මේ රටේ සිටි ජනාධිපති, නිට්‌ටඹුවේ සංඝබෝධි විද්‍යාලයේදී පැවැති රැස්‌වීමකදී රජයේ නිලධාරීන් හොරුන් යෑයි කී බව අපි දනිමු. දරුණු වෘත්තීයමය අරගලයකට යැමට තිබූ ඒ ප්‍රකාශය ගොඩින් බේරන ලදී· යම් හෙයකින් එදා රජයේ සේවකයන් වර්ජනයකට ගියේ නම් ලොකු අවුලක්‌ ඇති වීමට ඉඩ තිබිණ. අප හැමදෙනාගේම කටට උඩින් මොළයක්‌ තිබේ. ඒ මොළය ටිකිරි මොළයක්‌ වේවා, වැඩුණු මොළයක්‌ වේවා අප කට ඇරිය යුත්තේ ඉතා හොඳින් කල්පනා කිරීමෙන් පසුව ය. නැතහොත් සිදුවන්නේ මාළුවා ඇම දුටු විට කට ඇරීමෙන් ඇතිවන භයානක ප්‍රතිඵලය ය.

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.