වෙළෙඳපොළ මුල්කරගත් සංවර්ධනයකට අප යා යුතුයි

වර්ෂ පනහකට වඩා කාලයක්‌ තිස්‌සේ මාගේ මිතුරන් ලෙසට කටයුතු කළ ඔබ අද මා අමතන්නේ ඉතා සතුටිනි. මෙය මට අතිශය හැඟීම්බර අවස්‌ථාවකි. දශක 05 ක මතකයන් සිහි ගැන්වෙන මොහොතක්‌ ලෙස මෙය හැඳින්විය හැකියි.

සරසවියේ ඉගෙනගත් සමයේ අප බොහෝ දෙනාගේම බලාපොරොත්තුව වූයේ ප්‍රාදේශීය ආදායම් නිලධාරි සේවයට පත්වීමය. අකැමැත්තෙන් වුවද සඳහන් කළයුතු කරුණක්‌ වනුයේ අප ගුරුවරුන් වශයෙන් පත්වීම් ලබා යැමට අකැමැති වූ බවය. එහෙත් DRO සේවය අප සිත් ඇද ගත්තේය. එවකට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම් කටයුතුවල නිරතව සිටි මහාචාර්ය තම්බයියා මහතා හෝ මහාචාර්ය ගනනාථ ඔබේසේකර යන අය සමඟ ඈත ගම් නියම්ගම්වලට මා ගිය විට අපගේ සහායට පැමිණියේ අපට වසර කිහිපයකට පෙර විශ්වවිද්‍යාලයෙන් පිටවී රජයේ උප දිසාපති හෝ DRO සේවයට පත්වූවන්ය. මා සිතන්නේ එය සියලු දෙනාටම යහපත් සේවයක්‌ කිරීමට අවශ්‍ය පුදුමාකාර පසුබිමක්‌ තිබූ බවය. DRO නිලධාරීන්ට රජයේ නිවාසයක්‌ ලබාදී තිබූ අතර, එම නිවසට යාබදව ඔවුන්ගේ කාර්යාලය ද පිහිටා තිබුණි. ඔවුනට රජයේ වාහනයක්‌ ද දී තිබිණි. එසේම ඔවුන්ට සෑහෙන විවේක කාලයක්‌ද තිබුණි. ඔවුන්ගේ භාර්යාවන්ටද උපාධිධාරිනියක්‌ නම් ඔවුනට සුදුසු රැකියාවක්‌, ගුරු තනතුරක්‌ ලබා ගැනීමට ද හැකි විය. මෙම නිලධාරීන්ට ආහාරපාන ආදියෙන් හිඟයක්‌ තිබුණේ නැත. සෑහෙන විවේකයක්‌ තිබුණ නිසා සමාජ හා කලා කටයුතුවලට කාලය මිඩංගු කිරීමට අවකාශ තිබුණි. එවකට DRO නිලධාරීහු ප්‍රදේශයේ විවිධ කටයුතුවලට සහභාගි වූහ. නිදසුන් කිහිපයක්‌ මතක්‌ කිරීමට කැමැත්තෙමි. පළමුවෙන්ම සිහියට නැඟෙන්නේ විමලරත්න කුමාරගමයි. ඔහු දුෂ්කර ප්‍රදේශ වන වන්නි හත්පත්තුව කොලොන්න කෝරළය සහ කොත්මලේ වැනි කොටස්‌වල සේවය කළේය. තනිකඩයෙක්‌ ව හුදෙකලා වුවද තමාගේ අත්දැකීම් මුල් කරගෙන නූතන යුගයේ උසස්‌ යෑයි සැලකෙන කවි බොහොමයක්‌ රචනා කළේය. ඔහු "කොළඹ කවියකු" වශයෙන් හඳුන්වා දෙනු ලැබුවද අත්දැකීම් අනුව නාගරික හෝ අර්ධ නාගරික වූ සෙසු කොළඹ කවියන්ගෙන් වෙනස්‌ විය. ඔහුගේ කවිවල එන "මිනී කපන හේරත් හාමි" වැනි චරිත අපට එකල හමුවූයේ ඈත ගම්මානවලින් පමණි. දැන් ලංකාවේ කොයි පළාත්වලත් එවැනි චරිත නැත, බොහෝ කලක්‌ නවගත්තේගම සේවය කළ විමලරත්න කුමාරගම එහි ගැමි ජීවිතය ගැන නොමැකෙන සටහනක්‌ එවැනි කවිවලින් දායාද කළේය. ඉන් දශක කිහිපයකට පසු වන්නි හත්පත්තුව පසුබිම් කරගෙන නවකතා හා කෙටිකතා පළ කළ සයිමන් නවගත්තේගමගේ කෘති තුළින්ද අපට එම සමාජයට පිවිසිය හැකිය. මා මුලින්ම පත්වීමක්‌ ලබා රත්නපුර කච්ෙච්රියට අනුයුක්‌ත වූ අවධියේ කුමාරගම වරක්‌, දෙවරක්‌ හමුවීමට හැකි විය. ඔහු කොළොන්න කෝරළයේ සේවය කර කොත්මලේට මාරුවක්‌ ලබාගෙන සිටියේය. එකල මත්පැනට ඇබ්බැහිව සිටි කුමාරගම නුවර පළාතට ගෙන්වා ගැනීමට ඔහුගේ ඥතීන්ට උවමනා විය. ඔහු මහනුවර උපන් අයෙකි. ඔහු අකාලයේ මියගියේ අධික මත්පැන් පානය නිසාය. එය තනිකඩ DRO කෙනෙකු වශයෙන් ඔහු හුදෙකලාව ගෙවූ සංවේදී ජීවිතයේ ප්‍රතිඵලයක්‌ ලෙස හැඳින්විය හැකිය. එකල කොලොන්න කෝරළයේ ගැමියන් කීවේ දවල් දහයට පෙර DRO මහතා හමු වුවහොත් ඕනෑම වැඩක්‌ පහසුවෙන් කරගත හැකි බවය. ඒ කෙසේ වුවද, කුමාරගමගේ කවි තුළින් ගැමි ගැටලුත් මානුෂිකව ඒවා විසඳන හැටිත් දැක ගත හැකිය.

පළාත් පාලනය ගැන තවත් මතකයක්‌ සඳහන් කරනු කැමැත්තෙමි. එක්‌ අවධියකදී මම මාතලේ මහ දිසාපති ලෙස සේවය කළෙමි. සීගිරියේ චිත්‍ර කිසියම් කෙනෙකු විසින් විනාශ කරන ලදැයි මට දන්වන ලදී. මම සීගිරියට ගියෙමි. එහිදී මට දැකගත හැකි වූයේ DRO ඇතුළු නිලධාරීන් සියලු දෙනාම සැකකරු මිරිස්‌ ගෝනියක රිංගවා රතු මිරිස්‌ පුච්චා ඔහුගේ පාපොච්චාරණයක්‌ ගන්නා අයුරුය. එය DRO කෙනෙකුගේ සාමාන්‍ය රාජකාරියක්‌ හැටියට මට විස්‌තර කළ නොහැකිය, තවත් වරක හිනිදුම DRO වූ වීරසේකර මහතා හමුවීමි. ඔහු අප සිංහරාජ අඩවියට යායුතු බව මට යෝජනා කළ හෙයින්, එහි ගමන් කිරීමට ඉදිරිපත් වුණෙමි. වීරසේකර මහතා විසින් දින කිහිපයකට පෙර රාජසන්තක කරන ලද අලියකු කැලේ ගැට ගසා සිටි අයුරු අපට පෙනිණ. වීරසේකර විමසුවේ මේ තහනම් කරන ලද අලියාට කෑම බීම සපයන්නේ මොන FR එක යටතේද යන්නය. පසුව අයිතිකරුට දඩයක්‌ ගසා අලියා නිදහස්‌ කර යෑවීමි. මෙයද මාගේ සිතේ රැඳී තිබූ මතක සටහනක්‌ විය. එවැනි සිදුවීම් දහසක්‌ සිතේ ඇත. එහෙත් අප සමඟ සිටි සමහර මිතුරන් දැනට ජීවතුන් අතර නැත. ඔවුන් අතර සිටි විශිෂ්ට ගණයේ නිලධාරීන් කිහිපදෙනකුද මතක්‌ කරනු වටී. මෙම ග්‍රන්ථයේ පරිශිෂ්ඨයේ ඔවුන්ගේ නම් සටහන් කර තැබීම අගය කළ යුතුය. ඔවුන් අතුරෙන් පළමු කණ්‌ඩායමේ සිටි ඇම්. ඩී. බණ්‌ඩා හිටපු ඇමැතිතුමා විශේෂයෙන් සඳහන් කළ යුතුය.

එකල උසස්‌ නිලධාරීන් වැඩි දෙනකු ලංකා විශ්වවිද්‍යාලයට සම්බන්ධ අය වූහ. මෙහි පැමිණ සිටින අය එවකට DRO සේවයට, සිවිල් සේවයට හා වෙනත් විවිධ සේවාවන් හා තනතුරුවලට සම්බන්ධ වූවත්, අප මුලින්ම මුණගැසුණේa විශ්වවිද්‍යාලයේදීය. එය නොබිඳෙන සම්බන්ධතාවකි. අනුස්‌මරණීය අත්දැකීම් මාලාවකි. මේ අතරතුර විවිධ මාදිලියේ බඳවා ගැනීම් තිබුණු බවද මා විසින් සඳහන් කළ යුතුය. මුහුදුබඩ පළාත්වලින් තරග විභාගයට ඉදිරිපත් වූවන්ට විශ්වවිද්‍යාල උපාධියක්‌ තිබිය යුතු වූ අතර, මේ සම්බන්ධයෙන් උඩරට පෙදෙස්‌වලින් විභාගයට ඉල්ලුම් කිරීමට නියමිත අයගේ මුල්ම සුදුසුකම් ඊට වඩා පහත් මට්‌ටමක විය, මේ අතින් උඩරට පෙදෙස්‌වලින් ඉල්ලුම් කළ අපේක්‍ෂකයන් වාසනාවන්ත පිරිසක්‌ බව සඳහන් කිරීම සාධාරණය. කරුණු මෙලෙස වුවද යථා කාලයේ දී උඩරට පහතරට භේදයකින් තොරව උපාධිධාරින් පමණක්‌ තෝරා ගන්නා ලදී. මෙලෙස විශ්වවිද්‍යාල හරහා පැමිණි සියලුදෙනාම පාහේ තම රාජකාරි කටයුතු නිසි ලෙස කිරීම සඳහා අවශ්‍ය ගති පැවතුම් ඉගෙන තිබූ බව සඳහන් කළ යුතුය. එම ගති පැවතුම් හේතු කොටගෙන ඔවුන්ට පුද්ගලික වාසි ගැන නොතකා රාජ්‍ය සේවයට විශාල වෙනසක්‌ කිරීමට ඇපකැප වී සිටියෝය. අප විසින් පාසල් අවධියේදී හා විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු කිරීමේදී ලබාගත් සාරධර්මයන් රාජ්‍ය සේවයේ කටයුතු කිරීමේදී අදාළ වූ බව පෙන්වාදීමට කැමැත්තෙමි. බොහෝ කාලයකින් පසුව මගේ හිතවත් එල්. එම්. සමරසිංහ මහතා මෙහිදී හමුවීම ගැන ඉතා සතුටට පත්වූ බව පැවසිය යුතුය. මම ඔහුගෙන් පරිපාලන ක්‍ෂේත්‍රයේ ඉතිහාසය ගැන දැනුමක්‌ ලබා ගත්තෙමි. මෙම මුලාදැනි ක්‍රමය, සිංහල රජවරුන්, පෘතුගීසි, ඕලන්ද හා බ්‍රිතාන්‍ය යුගයේ මුදලිවරුන්ගේ හා රටේ මහත්වරුන්ගේ කාලය දක්‌වා විහිදී ගියේය.

මෙම තත්ත්වය වෙනස්‌ කළ යුතු බවට උද්ඝෝෂණය කළවුන් අතර පිලිප් ගුණවර්ධන. ආචාර්ය එන්. එම්. පෙරේරා ඇතුළු වෙනත් ප්‍රගතිශීලීs නායකයන් ද විය.

නූතන ලෝකය තුළ වැඩවසම් යුගයේ පැවතුණු මුදලිවරුන්ගේ හෝ රටේ මහත්වරුන්ගේ කාර්යභාරය නුසුදුසු බව පැහැදිලිවම පෙනුණු නිසා ඔවුන් වෙනුවට අත්හදා බැලීමක්‌ ලෙස DRO ක්‍රමය ස්‌ථාපිත කරන ලදී. ශ්‍රී ලංකා පරිපාලන සේවය ඇරඹීම තෙක්‌ එම ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක වුණේය.

මෙම අවස්‌ථාවේදී මම අප රටෙහි පැවැති සමාජ සුබසාධන ව්‍යqහය ගැනද සඳහන් කිරීමට කැමැත්තෙමි. එසේ බලන විට DRO නිලධාරීන්ට හා එවකට ආණ්‌ඩුවේ දිසාපතිවරුන් වශයෙන් සිටි නිලධාරීන් සියලු දෙනාම සමාජ සුබසාධන කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා ඉතාමත් කිට්‌ටුවෙන් සේවය කළහ. ශ්‍රී ලංකාවට නිදහස ලැබෙන විට ජනගහනය ලක්‍ෂ 80 ක්‌ වුවද, දැන් ජනගහනය ලක්‍ෂ 210 කි. එකල සමාජ සුබසාධන කටයුතු ව්‍යාප්ත කිරීමට අවකාශයක්‌ තිබූ නමුදු දැන් ජනගහනයේ වර්ධන වේගය අනුව ඒ ආකාරයටම ආර්ථික සංවර්ධන කටයුතු කිරීම පහසු නැත.

DRO වරු සේවය කළ වකවානුවේදී ග්‍රාම සංවර්ධන කටයුතු සඳහා ඔවුහු පූර්ණකාලීනව කැපවූහ. සුබසාධනයට මුල්තැන දීම නිසා හින්දු සංවර්ධන වේගය, බෞද්ධ සංවර්ධන වේගය යනාදී වශයෙන් විග්‍රහ කර තිබූ අතර එය ඉතාම මන්දගාමී සියයට 3 ක පමණ වර්ධනයක්‌ විය. සමාජ සේවා කටයුතු කිරීමෙන් ඔවුනට මීළඟ උත්පත්තියේදී එහි ප්‍රතිලාභ ලබාගත හැකි බව ඇතැම් දේශපාලනඥයන් විශ්වාස කළද මේ ලොවට එවැනි මන්දගාමී සංවර්ධනයක්‌ නොගැලපේ. ෙච්තනාව කොපමණ හොඳ වුවද එයින් දුප්පත්කම වැඩි වනවා මිස අඩු නොවේ. එමෙන්ම එවකට සමාජසේවා කටයුතු පිළිබඳ ක්‍රියාකළ නිලධාරීන් සියල්ලන්ම පාහේ තම රාජකාරි පිළිබඳව දැඩි කැපවීමකින් කටයුතු කළ බව ද මා විසින් සඳහන් කළ යුතුය. එලෙස කටයුතු කළ නිලධාරීන්ගේ හැඟීම් වූයේද සමාජයට කිසියම් සේවාවක්‌ ඉටු කළ යුතු බවය.

කරුණු එසේ වුවද අප අද ජීවත් වන්නේ මීට වර්ෂ 50 කට පෙර අවධියක නොවේ. එම කාල පරිච්ඡේදය පිළිබඳ මතක්‌ කරන විට එය කිසියම් දිරාපත් වන සමාජයක සටහන් බව පෙනේ. අද මීට වෙනස්‌ වෙළෙඳපොළ මුල් කරගත් සංවර්ධනයකට අප යා යුතුය. මෙලෙස විග්‍රහ කරන විට එම අතීතයේ කරනු ලබන රාජකාරීන් කෙරෙහි අපගේ සහාය ද ලැබුණු බව සඳහන් කරමි. එංගලන්තයේ එක වකවානුවකදී "වර්ඩ්ස්‌වර්ත්" යන නමින් සුප්‍රසිද්ධ කවියකු විසුවේය. ඔහු විසින් පැවසූ වචන ස්‌වල්පයක්‌ මෙහි සඳහන් කිරීමට කැමැත්තෙමි. "වර්ඩ්ස්‌වර්ත්" (Words Worth) පැවසුවේ ජීවත්වීම උත්කර්ෂවත් සිද්ධියකි. එහෙත් තරුණයකු වශයෙන් ජීවිතය ගෙවීම සුරලොව යැමක්‌ බඳුය. (Bliss was if to be alive; but to be young was very heaven) එම වකවානුවේ අප සියල්ලන්ම තරුණයන් වූහ. එකල යම් යම් අභියෝග තිබූ නමුත් අපි ඒවාට මුහුණ දුන් අතර සතුටින් කාලය ගෙවූයෙමු. එවකට තිබූ අභියෝගයන්ට අපි සාර්ථකව මුහුණ දුන්නෙමු. එමෙන්ම අපි ප්‍රීතිමත්ව අපගේ කටයුතුවල නිරත වුණෙමු. මේ ගෞරවනීය හිටපු නිලධාරීන් වර්ෂ 50 කට අධික කාලය තුළ අප සමඟ මිත්‍රශීලීව සුහදව කටයුතු කිරීම සුන්දර මතකයකි. මම ඔබගෙන් ලබාගත් දැනුම හෝ වෙනත් විස්‌තර පිළිබඳ ඔබට මා ණයගැති වන අතර, ඔබවැනි නිලධාරීන් රජය වෙත ලබාදෙන ලද ගෞරවනීය සේවය ඉතා අගය කරමු.

"DRO man for all seasons" ග්‍රන්ථය දොරට වැඩුම උළෙලේදී කරන ලද දේශනය ඇසුරිනි.

ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාවය පිළිබඳ
ජ්‍යෙෂ්ඨ අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය
ආචාර්ය සරත් අමුණුගම
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.