ශ්‍රී ලංකාවේ කම්කරු අරගල හා වෘත්තීය සමිති ආරම්භය.

ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ආරම්භය වසර 1800 ගණන් දක්‌වා අතීතයට දිවයන අතර, වෘත්තීය සමිති සංස්‌කෘතිය බිහිවූයේ බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේදී ය. බ්‍රිතාන්‍යයන් විසින් ලංකාවේ පැවති සමස්‌ත ආර්ථික ක්‍රමයම වෙනස්‌ කළ අතර, ඒ වෙනුවට වැවිලි ආර්ථීකයක්‌ හඳුන්වා දෙන ලදී.

1840 දී පනවන ලද මුඩුබිම් ආඥාපනත යටතේ ලාංකිකයන්ගේ ඉඩම් බලෙන් අත්පත් කර ගැනීමට ඔවුහු ක්‍රියා කළහ.  මේ අනුව හිමිකාරිත්වය, අයිතිය පිළිබඳ කිසියම් සාක්‍ෂියක්‌ සැපයිය නොහැකි සියලුම ඉඩම්, මුඩු ඉඩම් හෝ රජයේ ඉඩම් වශයෙන් සළකන ලදී.  මහනුවර ජනතාවට අයිතිව තිබූ ඉඩම් විශාල ප්‍රමාණයක්‌ මේ පනත යටතේ බ්‍රිතාන්‍ය ආණ්‌ඩුව අත්පත් කරගත් අතර, ඒවායෙහි තේ, කෝපි වැනි බෝග වගාවන් ආරම්භ කරන ලදී.

වැඩ කරන පංතියේ ආරම්භය :

මෙම මුඩු ඉඩම් ආඥා පනත යටතේ සිය ඉඩම් අහිමි වූ ලාංකිකයන් බොහෝ දෙනෙකු සිය පැවැත්ම උදෙසා කම්කරු රැකියා සොයා නාගරික ප්‍රදේශවලට සංක්‍රමණය විය. ඔවුහු බ්‍රිතාන්‍යයන්ගේ පාලනය යටතේ තේ, කෝපි වගාවන් ආශ්‍රිතව සේවය කිරීමට අකමැත්ත පල කළහ. ලාංකිකයන් පල කළ මෙම අකමැත්ත නිසා 1846 වසරේ දී වතු වගාවන් සඳහා දකුණු ඉන්දියාවෙන් කම්කරුවන් මෙරටට ගෙන්වීමට කටයුතු කරන ලදී.  මේ අනුව වතු ආශ්‍රිත වැවිලි සේවකයන් හා නාගරික සේවකයන් යනුවෙන් කම්කරු කොටස්‌ 2 ක්‌ එකල දක්‌නට ලැබුණි.  මෙම සේවක දෙපිරිසම ඉතා දුෂ්කර ජීවිත ගත කළ අතර, දිළිඳුකම හේතුවෙන් බොහෝ ගැටළුවලට මුහුණදීමට ඔවුන්ට සිදුවිය. සමස්‌ත වැවිලි අංශයම පාලන කරන ලද්දේ බ්‍රිතාන්‍ය පාලකයන්ට අවශ්‍ය ආකාරයට ය.  ඔවුන් විසින් 1865 වසරේ දී කම්කරු ආඥා පනත හඳුන්වා දුන් නමුත්, ඒ තුළ වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම පිළිබඳ කිසිවක්‌ ඇතුළත් නොවී ය.

ප්‍රථම වැඩ වර්ජනය හා ප්‍රථම වෘත්තීය සමිතිය (1893) :

බ්‍රිතාන්‍ය පාලකයෝ කිසිදු වෘත්තීය අරගලයක්‌ කිරීමට වැවිලි වතු සේවකයන්ට කිසිදු විටෙක අවස්‌ථාවක්‌ ලබා නොදුන්හ.  වතු ආශ්‍රිතව සේවය කළ ඉන්දීය කම්කරුවන් නූගත් පිරිසක්‌ වූ අතර, පාලකයෝ ඔවුන්ට වහලුන්ට මෙන් සැළකූ අතර පිටතින් කිසිවෙකුටත් වතුවලට ඇතුළුවීමට හා ඔවුන් සමÍ ගනුදෙනු කිරීමට අවස්‌ථාවක්‌ ලබා නොදුන්හ.  මේ අනුව වෘත්තීය සමිතියක්‌ පිහිටුවීමට හෝ කිසිදු වෘත්තීය අයිතිවාසිකමක්‌ වෙනුවෙන් අරගල කිරීමට ඔවුන්ට එකල ඉඩක්‌ නොවී ය.

 බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි ප්‍රථම වැඩවර්ජනය නාගරික කම්කරුවන්ගේ දායකත්වයෙන් 1893 වසරේ දියත් කෙරිණි. කොළඹ විශාලතම මුද්‍රණ හා පොත් වෙළඳ සමාගමක්‌ වූ බ්‍රිතාන්‍යයන් සතු එච්.ඩබ්ලිව්. කේව් සහ සමාගමේ කම්කරුවෝa සිය වැටුප් ගෙවීම් ප්‍රමාදවීම්, අයහපත් වැඩකිරීමේ හා පීවන තත්ත්වයන් මත වර්ජනය ආරම්භ කළහ.  නිල වශයෙන් පිළිගත් ප්‍රථම වැඩ වර්ජනය වූ මෙය දින 6ක කාලයක්‌ පැවතුනි. වැඩ වර්ජනයේ දෙවැනි දිනයේ දී පවත්වන ලද ප්‍රසිද්ධ රැස්‌වීමක දී, ලංකාවේ ප්‍රථම වෘත්තීය සමිතිය වන මුද්‍රණ කම්කරුවන්ගේ වෘත්තීය සමිතිය ආරම්භ කරන ලද අතර, එම රැස්‌වීම අවසානයේ දී මුද්‍රණ කම්කරුවෝa 200 ක්‌ සමිතියේ සාමාජිකත්වය ලබාගත්හ.

මෙම වර්ජනයට හා වෘත්තීය සමිතිය පිහිටුවීමට සහාය ලබාදුන්නේ, බර්ගර් ජාතික ඇල්ප්‍රඩ් එර්නස්‌ට්‌ බුල්ජෙන්ස්‌ හා ඉන්දීය ගෝව ජාතික ලිස්‌බෝ පින්තු ය.  එංගලන්තයේ කේම්බ්‍රිæ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සමයේ වෘත්තීය අයිතිවාසිකම් හා වෘත්තීය සමිති කටයුතු පිළිබඳ අවබෝධයක්‌ ලබාගත් බුල්ජෙන්ස්‌ අධ්‍යාපන කටයුතු හමාර කොට නැවත ලංකාවට පැමිණ සේවක අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම හා වෘත්තීය සමිsති පිහිටුවීමේ වැදගත්කම ආදිය පිළිබඳ කතිකාවක්‌ ආරම්භ කළේය.  මේ සඳහා ඔහුට මරදාන ප්‍රදේශයේ වෛද්‍යවරයකු ලෙස කටයුතු කළ ඉන්දීය ගෝව ජාතික ලිස්‌බෝ පින්තු සහාය දැක්‌වීය.  මොවුන්ගේ මෙම මැදිහත්වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස ප්‍රථම වෘත්තීය සමිතිය වන මුද්‍රණ කම්කරුවන්ගේ වෘත්තීය සමිතිය 1893 වර්ෂයේ දී ආරම්භ විය.

බ්‍රිතාන්‍යයන් විසින් 1865 වසරේ දී හඳුන්වා දුන් කම්කරු ආඥා පනතට අනුව වැඩ අතහැරයාම, අරගල කිරීම ආදිය තහනම් ක්‍රියාවන් ලෙස නම් කර තිබූ බැවින්, එය පදනම් කරගෙන කම්කරුවන්ට දඩ නියම කිරීමට හෝ ඔවුන්ව සිරගත කිරීමට හැකියාව තිබුණි. මේ අනුව වර්ජනයට මූලිකත්වය ගත් කම්කරුවන් 5 දෙනෙකු සේවයෙන් පහ කරන ලද අතර, විලියම් නමැති කම්කරුවාට සතියක සිරදඬුවමක්‌ ද නියම කරන ලදී. මෙයින් බියට පත් අනිකුත් සේවකයන් වර්ජනය අතහැර දමා නැවත සේවයට වාර්තා කරන ලද අතර, එම වැඩ වර්ජනය අසාර්ථක එකක්‌ බවට පත්විය.  වැඩ වර්ජනය  අසාර්ථක වුවත් බ්‍රිතාන්‍ය  රජය විසින් ගත් ක්‍රියාමාර්ගයන්ට එරෙහිව නැඟීසිටීමට යම් බලයක්‌, හැකියාවක්‌ මෙම වෘත්තීය ක්‍රියාමාර්ග හා සමිති හරහා තමන්ට ලැබෙන බව සේවකයෝ අවබෝධ කර ගත්හ.

නිල වශයෙන් පිළිගත් ප්‍රථම වැඩ වර්ජනය මුද්‍රණ කම්කරු වර්ජනය වුවත්, ඊට පෙරත් වැඩ  වර්ජන තුනක්‌ ඇති වී  තිබුණි.

ඒවා නම්, 1860 දී තර්ස්‌ටන් කාර්මික පාසලේ ගුරුවරුන් සහ වඩු කාර්මිකයන් පාලකයන්ට විරුද්ධව සිදු කළ වැඩ වර්ජනය.

1870 දී නැගෙනහිර පළාතේ මඩකලපුව    දිස්‌ත්‍රික්‌කයේ වාරිමාර්ග වැඩපොළක කම්කරුවන් සිදු කළ වැඩ වර්ජනය .

කොළඹ නගර සභාව මඟින් මස්‌ කඩ සඳහා බදු මුදල් වැඩි කිරීමක්‌ මත 1879 දී මස්‌ කඩ හිමිකරුවන් සිදු කළ දින 3 ක වැඩ වර්ජනය.

මෙම වර්ජන තුනම නිල වශයෙන් පිළිගත් වැඩ වර්ජන නොවූ අතර, ඒ හරහා විශාල බලපෑමක්‌ සිදු කළ නොහැකි විය.

දෙවන වැඩ වර්ජනය (1896) :

1896 වසරේ දී කොළඹ රෙදි අපුල්ලන කම්කරුවන් විසින් දෙවන වැඩ වර්ජනය දියත් කරන ලදී.  නගරයේ සියලුම රෙදි අපුල්ලන ස්‌ථාන පාලනයකට පහසුවන සේ නගර සභාවෙහි ලියාපදිංචි කළ යුතුයෑයි බල කළ කොළඹ නගර සභාවේ අණපනතකට විරුද්ධව මොවුන් විසින් මෙම වර්ජනය සිදුකරන ලදී.  ථිට ඉහත කිසිදිනෙක, කිසිදු රජයේ පාලනයකට යටත් නොවූ රෙදි අපුල්ලන්නෝ මෙම ලියාපදිංචි කිරීම හරහා බලපත්‍ර ගැනීම් හා බදු ගෙවීම් ක්‍රමයක්‌ ආරම්භ වියහැකි බව අවබෝධ කර ගත්හ.  සති 3 ක්‌ පුරා පැවැති මෙම වර්ජනය එම දශකයේ ඇති වූ ඉතාම දීර්ඝ හා සටන්කාථි වැඩවර්ජනය බවට පත්විය.

කෙසේ වෙතත් මුද්‍රණ කම්කරුවන්ගේ වර්ජනයේ දී මෙන් අධිකා හු කම්කරු අඥාපනත ගෙන හැර දක්‌වමින් කම්කරුවන් කිහිපදෙනෙකුට විරුද්ධව නඩු පවරා ඔවුන් වැරදිකරුවන් බවට පත් කරමින් මෙම වර්ජනය ද අසාර්ථක කරන ලදී. 

තුන්වන වැඩ වර්ජනය (1906) :

මෙම කාලවකවානුව වන විට එක්‌තරා ප්‍රමාණයකට රට තුළ දේශපාලන හා ආගමික නොසන්සුන්තා ඇති වෙමින් පැවතුන අතර, රැඩිකල්වාදී පිරිස්‌ නිරතුරුවම ආගමික, දේශපාලන හා කම්කරු ව්‍යාපාරය තුළ වැදගත් කාර්යභාරයක්‌ ඉටු කළහ.  නිරතුරුව බ්‍රිතාන්‍ය  පාලනයට එරෙහිව දැඩි විවේචන එල්ල විය.  මෙවැනි ආගමික උද්ඝෝෂණ, දේශපාලන ක්‍රියාකාරකම් ආදිය නිසා ඵකල නාගරික කම්කරු පන්තියට තම වෘත්තීය ක්‍රියාකාරකම්වලට හොඳ වාතාවරණයක්‌ උදා විය. මෙසේ ඇති වූ දේශපාලන, ආගමික පුනරුදය හා කම්කරු අරගල අතර අන්තර් සම්බන්ධතාවයක් දක්‌නට ලැබුණි.

1906 දී කරත්ත කම්කරුවන් දියත් කළ වර්ජනය ප්‍රබල වැඩ වර්ජනයක්‌ වූ අතර, ප්‍රථම සාර්ථක වැඩ වර්ජනය ද විය.

පිටකොටුව දුම්රිය ස්‌ථානයේ සිට කොළඹ වරායට බඩු ප්‍රවාහනය කළ කරත්තකරුවන්, කරත්තයේ බෝන් ලීයේ වාඩි වී ගමන් කිරීම තහනම් කිරීම හේතුවෙන් මෙම වර්ජනය ආරම්භ කරන ලදී. මෙහි නායකත්වය ගෙන ක්‍රියා කළේ රේන්ද හිමිකරුවෙකු, කරත්ත හිමිකරුවෙකු මෙන්ම මිනිරන් ව්‍යාපාර හිමිකරුවකු වූ ජෝන් කොතලාවල ය. ඉතා නිර්භීත, ජවසම්පන්න, සටන්කාථි, උද්යෝගිමත් නායකයකු වූ මොහු සර් ජෝන් කොතලාවලගේ පියාය,

මෙම වර්ජනය සඳහා කම්කරුවන් 5000 ක්‌ සහභාගී වූ අතර, නගරයේ වෙළද කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිටින ලදී.  දුම්රිය ස්‌ථාන තුළ තේ පෙට්‌ටි ආදී බඩු ගොඩ ගැසුණි. ඒවා වරාය වෙත ප්‍රවාහනය කිරීමක්‌ සිදු නොවුණි.

මෙයින් කලබලයට පත් බ්‍රිතාන්‍ය පාලකයෝ, බෝන් ලීයේ ගමන් කිරීමේ තහනම ඉවත් කළහ. වැඩ වර්ජනය සාර්ථක වීමෙන් අනතුරුව කරත්තකරුවන්ගේ සංගමයක්‌ පිහිටුවීමට ජෝන් කොතලාවල ප්‍රධානත්වය ගත් අතර, මෙය ලංකාවේ බිහි වූ දෙවැනි වෘත්තීය සමිතිය බවට පත්විය.

මේ අනුව ලංකාවේ කම්කරුවන් විසින් සිදු කළ ප්‍රථම සාර්ථක වැඩ වර්ජනය ලෙස ඉතිහාසගතවන්නේ කරත්තකරුවන්ගේ වැඩ වර්ජනයයි.


රසිකා දීපානි

වැඩසටහන් නිලධාරිනී

කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය

(හිටපු කම්කරු කොමසාරිස්‌ (කාර්මික සබඳතා) ඩී.එම්.එස්‌. දිසානායක මහතා කළ දේශනයක්‌ හා මහාචාර්ය කුමාරි ජයවර්ධන විසින් රචිත ශ්‍රී ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ නැඟීම කෘතිය (1978)  ආශ්‍රයෙනි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.