දෙවි පුදට මෙලෙසේ සතුන් මරමුද කෙළෙසේ!



ප්‍රාණයක්‌ බිලි දී ශාන්තිය ප්‍රාර්ථනා කිරීම කිසිම ශිෂ්ට සමාජයක්‌ අනුදත් සම්ප්‍රදායක්‌ නොවේ. එහෙත් විටින් විට අපේ රටේත් බිලි පූජා ගැන ඇසෙන්නේය. ඒ ම්ලේච්ඡ සම්ප්‍රදායට එරෙහිව ජනතා විරෝධයන් උපදින්නේය. සමහරු උසාවි යන්නේය. එවැනි බිලි පූජාවක්‌ ගැන ආන්දෝලනයක්‌ පසුගිය දා ඇති වුණේය. ඒ ආන්දෝලනය ඇති වුණේ මතුගම ප්‍රදේශයේය. ෆාම් තෙල් නිපදවන කර්මාන්ත ශාලාවක්‌ සහිත මතුගම යටදොල ශාන්ත ජෝෂප් වත්තේ පිහිටි මාරි අම්මාන් කෝවිලේ සිදුකරන්නට යන බව කියූ බිලි පූජාවක්‌ සම්බන්ධවය.

ශාන්ත ජෝන් වතුයායේ සිංහල දෙමළ පවුල් එක්‌දහස්‌ දෙසීයක්‌ පමණ මේ වතුයාය අවට ඉන්නේය. ජාති භේදයකින් තොරව ඔවුන් ස්‌වකීය පුදපූජා පැවැත්වීම ස`දහා මෙම කෝවිලට පැමිණෙන්නේය. මෙම කෝවිලේ ඉතිහාසය දශක හතරකට මදක්‌ වැඩිය. වාර්ෂිකව මේ කෝවිලේ උත්සවයක්‌ තිබෙන්නේය. එම උත්සවයේ විශේෂම අංගය වන්නේ බිලි පූජාවය. මේ කෝවිල හා සම්බන්ධ භාරකාර මණ්‌ඩලය පසුගිය 25 වැනිදා කෝවිලේ වාර්ෂික උත්සවයට සමගාමීව මෙවරත් විශේෂ බිලි පූජාවකට ලැහැස්‌ති වුණේය. මෙම චාරිත්‍ර විධිය වුයේ පූජාවට රැගෙන එන සතුන්ගේ බෙලි කපා මරා, එම මස්‌ උයා එතැනට රැස්‌වන බැතිමතුනට කන්නට දීමය.



මෙම බිලි පූජාව ගැන තොරතුරු පොලිස්‌ බුද්ධි අංශයට වාර්තා වුණේය. මේ ගෝත්‍රික චාරිත්‍රය පැවැත්වීමට විරුද්ධව පළාතේ හාමුදුරුවරුන් විරෝධතාවක්‌ සංවිධානය කරන බවට වන තොරතුරුද ලැබිණි. ඒ අතර කෝවිලේ භාරකාරයෝ මෙම පූජාව පැවැත්වීමට කටයුතු කරමින් උන්හ. ඊට විරෝධය පාමින් බුද්ධි අංශ වලට වාර්තා වුණ ආකාරයටම මතුගම බොදුබල සුරැකීමේ සංවිධානයක පනහකට ආසන්න ගිහි හා පැවිදි පිරිසක්‌ බිලි පූජාවට එරෙහිව එය පැවැත්වෙන ස්‌ථානයට පැමිණියහ.

ඒ වනවිට පොලිසිය කෝවිල අවට ආරක්‌ෂාව තර කර තිබිණි. පොලිස්‌ මුර යොදවා තිබිණි. විරෝaධතාවය පැවතියේ සාමකාමීවය. මේ අවස්‌ථාවේ කළුතර දිස්‌ත්‍රික්‌ යූ.එන්.පී පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම කොහේදෝ සිට මේ ස්‌ථානයට කඩාපාත් වුණේය. එසේ කඩාපාත් වු පාලිත තෙවරප්පෙරුම මේ ගෝත්‍රක බිලිපූජාව කරන්නට සූදානම් වෙමින් සිටි කෝවිලේ භාරකාර මණ්‌ඩලය පැත්ත රැගෙන ඊට එරෙහි වූ ගිහි පැවිදි පිරිසට අමු තිත්ත කුණුහරපයෙන් බැණ වදින්නට විය. තෙවරප්පෙරුම ඒ මොහොතේ හැසිරෙමින් සිටියේ දඩයම වැරදුන වැද්දෙක්‌ ලෙසිනි.

"තොපි මස්‌ කනවා... දානෙට මස්‌ ඉල්ලනවා... මෙතන පූජාවක්‌ තියන්න හදනකොට ඒකට විරුද්ධ වෙනවා." පාලිත තෙවරප්පෙරුම බෙරිහන් දෙමින් සිටියේය. ඇතිවෙමින් තිබුණේ අනවශ්‍ය ගැටුමක්‌ ඇතිවිය හැකි තත්ත්වයකි. මේ අවස්‌ථාවේදී කළුතර පොලිස්‌ අධිකාරී රොෂාන් සිල්වා සිද්ධියට මැදිහත් වුණේය. ඔහු පිස්‌සු කෙළිමින් සිටි තෙවරප්පෙරුම අසලට ගොස්‌ අනවශ්‍ය ගැටුමක්‌ ඇති නොකර ස්‌ථානයෙන් ඉවත්ව යන ලෙස කියා සිටියේය. ඒ අවස්‌ථාවේදී පාලිත තෙවරප්පෙරුම එතැනින් පිටව ගියේය.

එහෙත් ස්‌වල්ප මොහොතකින් ඔහු සිය ආධාරකාර මැරයින් පිරිසක්‌ සමග පැමිණියේය. ඔවුන් අත පොලු වූයේය. පොලු රැගෙනවිත් තිබුණේ හාමුදුරුවරු ඇතු=ළු විරෝධතා කරුවන්ට පහර දීම ස`දහාය. මේ අවස්‌ථාවේදීත් පොලිසිය මැදිහත්ව කහළකරුවෝ පලවා හළහ.

ඇතිවී තිබෙන තත්ත්වය ලේ වැගිරීමක්‌ වන්නට පෙර අධිකරණ නියෝගයක්‌ ලබා ගැනීමට පොලිසිය තීරණය කළේය. මතුගම මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂකවරයා මතුගම අතිරේක මහෙස්‌ත්‍රාත් අබේවික්‍රම වීරසිංහ හමුවට ගොස්‌ කරුණු දැක්‌වීය. එහිදී පූජාව ඒ ආකාරයෙන්ම පවත්වන්නත්, බිලි පූජාව නවත්වන්නත්, විරෝධතාවය දක්‌වන හාමුදුරුවරුන්ට කෝවිල් භූමියෙන් ඉවත් වන්නත් අධිකරණය නියෝග කළේය. එම උසාවි නියෝගය පොලිසිය විසින් කෝවිල් භාරකාර මණ්‌ඩලයටත්, හාමුදුරුවරුන්ටත් භාර දුන්නේය.

උසාවි නියෝගය ලැබුණු විගස පාලිත තෙවරප්පෙරුම යළිත් පිස්‌සු කෙළින්නට පටන් ගත්තේය. මේ තැනැත්තා උසාවි නියෝගය පිළිගන්නට සූදානම් වූයේ නැත.

"මේක උසාවි නියෝගයක්‌ නොවෙයි, කළුතර පොලිස්‌ අධිකාරිගේ නියෝගයක්‌... මේක පිළිගන්න අහවල් දේකටද?. බිලි පූජාව කරන්න ඕන... අනිවාර්යයෙන්ම..." තෙපරප්පෙරුම කෝවිලේ භාරකාරයන්ටත් තර්ජනය කරන්නට විය. මේ අවිනීත හැසිරීම කළුතර පොලිස්‌ අධිකාරිවරයා බරපතළ ගැටලුවකට පත් කළේය. අනතුරුව තෙවරප්පෙරුම පොලිස්‌ අධිකාරීවරයා සමග ගැටුමක්‌ ඇතිකර ගත්තේය. ගැටුමෙන් පසු මිනිසුන් දහසකට ආසන්න පිරිසක්‌ එක්‌කරගත් තෙවරප්පෙරුම බිලි පූජාව නැවැත්වීමට දුන් උසාවි නියෝගටයට එරෙහිව මතුගම කළුතර පාර අවහිර කර උද්ඝෝෂණයේ යෙදෙන්නට වූයේය. අනතුරුව උද්ඝෝෂකයන් සමග මේ තැනැත්තා නැවත කෝවිලට පැමිණියේය.

මොහොතකින් කෝවිලේ පූසාරි ඇතුළු භාරකාර මණ්‌ඩලය පිටතට පැමිණ පොලිසිය හා කතා කළේය. ඔවුන් කියා සිටියේ සතුන් පූජාව ස`දහා සූදානම් කරන බවත් බිලි පූජාවක්‌ සිදු නොවන බවත්ය. අනතුරුව එළුවන් දෙදෙනෙක්‌, කුකුළන් තිදෙනෙක්‌ සෝදා පිරිසිදු කර කෝවිල ඇතුළට ගන්නා ලදී. මොහොතකින් එළුවන්ගේ මර ලතෝනි ඇහෙන්නට විය. පාලිත තෙවරප්පෙරුමගේ මෙහෙයවීම මත උසාවි නියෝග නොතකා කොවිලේ පූසාරි ඇතුළු පිරිස මේ අසරණ සතුන්ගේ බෙලි සි`ද දමා ගෝත්‍රික බිලි පූජාව පවත්වා තිබිණි.

මේ සිද්ධිය දැකීමත් සමග පොලිසිය මැදිහත්ව මරන්නට සිටි ඉතිරි සත්තු බේරා ගත්තේය. මේ නින්දිත අපරාධය වලක්‌වන්නට ගිය හිමිවරුන්ට පාලිත තෙවරප්පෙරුම ඇතුළු 13 දෙනෙක්‌ පහර දෙන්නට පැමිණි බව පවසමින් පළාතේ හාමුදුරුවරු මතුගම පොලිසියට පැමිණිලි කළහ. පාලිත තෙවරප්පෙරුම අධිකරණ නියෝග කඩ කළ බව කියමින් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. තීන්දුව ලබා දීම 30 වැනිදා වනතෙක්‌ කල් දැමිනි.

අපි ජීවත් වන්නේ මෙවැනි රටකය. අඩුම තරමින් ගමේ කෝවිලේ ගෝත්‍රික ම්ලේච්ඡ දුරාචාරයක්‌ නවත්වා ගන්නට දෙන අධිකරණ තීන්දුවක්‌වත් ක්‍රියාත්මක වන්නට ඉඩ නැත. එසේ වන්නේ ඒ අමනකම් පිටුපස දේශපාලන ගෝත්‍රිකයන් සිටින විටය. මේ අනිතික බලය පක්‌ෂ විපක්‌ෂ කියා වෙනසක්‌ නැතිව සියලුම දේශපාලන අල-ජිහු යොදා ගනිති. යළිත් මේ දිස්‌වූයේ ඒ කාලකණ්‌නි යථාර්ථයේ ජුගුප්සාජනක නිරුවතය. මේ අසරණ සතුන් බිලිදී උපදවාගත හැකි ශාන්තියක්‌ නැත. නමුත් බිලි පූජා පැවැත්වීමට මේ අසරණ තිරිසන් සතුන් නොනසා මේ රටේ නොදැමුණු මෝඩ දේශපාලකයන් පෙළගැස්‌විය හැකිනම් ඒ මොහොතේ සිට මේ රටට ශාන්තියක්‌ උපදිනු ඇත.

හේමන්ත රන්දුණු

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.