මල්වඩම

ශ්‍රී ලංකාවේ සංචාරයක නියුතුව සිට නික්‌ම ගිය නවනීදන් පිල්ලේ මහත්මිය තමා සම්බන්ධයෙන් විශාල අර්බුදයක්‌ මෙහි ඉතිරි කර ගොස්‌ ඇත. නිදහස්‌ චතුරශ්‍රයේ ළෙලදෙන බෞද්ධ කොඩිය ගැන ඇය ප්‍රශ්න කර තිබේ. ජාතික නොවන, ආගමික වූ කොඩියක්‌ එසේ ළෙලදීම ඇයට ප්‍රශ්නයක්‌ විය. එවිට බෞද්ධ කොඩිය ගැන ඇයට තේරුම් කර දීමට සිදු විය. හෙට බ්‍රිතාන්‍යයට යන පිල්ලේ මහත්මිය එරට ක්‍රිස්‌තියානි ආගමේ ආරක්‍ෂකයා මහ රැජන වන්නේ මන්දැයි ප්‍රශ්න කරන්නේද? වෙල්ලමුල්ලි වයික්‌කාල් ගිය ඇය එහි මල්වඩමක්‌ තැබීමට උත්සාහ කළා ය. ඒ මියගිය ත්‍රස්‌තවාදීන් වෙනුවෙනි. පිල්ලේ මහත්මිය පක්‍ෂග්‍රාහී කාන්තාවක බව අපි මුල සිටම මේ තීරුවෙන් කීවෙමු. ඇය දෙමළ සම්භවයක්‌ ඇති කාන්තාවක නිසා දෙමළ ත්‍රස්‌තවාදීන්ට පක්‍ෂ ය. එය ඉතාම ස්‌වාභාවික තත්ත්වයක්‌ බව ඒ සමඟම අපි පිළිගනිමු. ඇය තම ජාතියට පක්‍ෂ විය යුතු ම ය. එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ඒ බව තේරුම් ගෙන ශ්‍රී ලංකාවේ මානව හිsමිකම් පිළිබඳ සොයා බැලීම සඳහා දෙමළත් නොවන සිංහලත් නොවන වෙනත් ජාතියක කෙනෙක්‌ එවිය යුතුව තිබිණ.

අප දන්නා පරිදි නවනීදන් පිල්ලේ යනු එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ රැකියාවක්‌ කරන නිලධාරිනියක මිස තානාපතිවරියක නොවේ. එසේ තිබියදී තානාපතිවරුන් පවා නොකරන අන්දමින් ඇය හැසිරී තිබිණ. ත්‍රස්‌තවාදීන්ට මල්වඩම් තැබීම ඇයට අයිති වැඩක්‌ නොවේ. ඇය මෙරට සංචාරය කළේ තම ගම් පළාතේ පිහිටි සුසාන භූමියට යන බවක්‌ හිතාගෙන ය. ඇය මල්වඩම් ගෙන යා යුත්තේ තම මවුබිම වූ දකුණු අප්‍රිකාවේ සොහොන් පිට්‌ටනිවලට යන විට ය. ඇගේ ආතා මුත්තා යනාදීන් වළ දමා ඇත්තේ එහි ය. වෙල්ලමුල්ලි වයික්‌කාලේදී මියගිය ප්‍රභාකරන් ඇගේ නෑයෙක්‌ද? පොට්‌ටු අම්මන් ඇගේ නෑයෙක්‌ද? මේ නීච මිනීමරුවන්ට ජාතික වශයෙන් ගත් කල ඇයට ඇති ජාන සම්බන්ධය පවා ඇය රහසේ තබාගත යුතු ය. ඔවුන් ජීවතුන් අතර සිටි කාලයේදී මනුෂ්‍ය සංහතියට කළ හානිය ඉතා නින්දිත ය. අද ප්‍රභාකරන්ට මල්වඩම් තබන පිල්ලේ හෙට හිට්‌ලර්ටත්, අනිද්දා මුසෝලිනීටත්, ඊට පසු දින පොල්පොට්‌ටත් මල්වඩම් තැබිය යුතු ම ය.

ශ්‍රී ලංකාව තුළ අද වන විට දෙමළ යුද අනාථයන් නැත. ඒ බව දැන හෝ නොදැන දෙමළ යුද අනාථයන් දැක බලා ගැනීමට (සත්තුවත්ත බැලීමට යන පරිදි) මෙහි පැමිණි ඇය ශ්‍රී ලංකාව ඉතා වේගයෙන් අධිකාරිවාදී දිශාවකට (Authoritarian Direction) ගමන් කරන බවට ප්‍රකාශයක්‌ නිකුත් කර ඇත. මෙය ඉතා පහත් ලෙස තම සීමාවන් ඉක්‌ම වීමට ගත් උත්සාහයකි. මෙය එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් පවා නොකියන පණ්‌ඩිත කතාවකි. පිල්ලේ මහත්මිය මෙහි පැමිණි කාරණය එකකි. ඇය මෙහිදී කරන්නට ගිය කාරිය තව එකකි. ඇය කළ ප්‍රකාශය ඒ දෙකටම සම්බන්ධ නැති තවත් එකකි. එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම්තුමා තම ආයතනයට සේවකයන් ගන්නා විට ඉතා හොඳින් ඉන්ටර්විව් කර එයින් සමත් වන අය පමණක්‌ සේවයට ගත යුතු ය. වෙලාව ඇසූ විට ඔරලෝසුවේ ඉතිහාසය කියන අයත්, වතුර ටිකක්‌ ඉල්ලා එය ලැබුණු විට ළිඳේ ගැඹුර මනින අයත් මෙහි නො එවිය යුතු ය. එවැනි අය උමතු රෝහල්වලට යෑවීම සුදුසු ය.

සිරියාව තුළ ඉතා භයානක යුද අපරාධයක්‌ සිදුවෙමින් පවතින බව කියන බ්‍රිතාන්‍යය, ඇමරිකාව, ජර්මනිය සහ ප්‍රංශය සමඟ එක්‌ව එරටට බෝම්බ දැමීමට පසුගියදා සූදානම් විය. එහෙත් බ්‍රිතාන්‍ය අගමැතිතුමා එම බෝම්බ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට එය පරාජය විය. බ්‍රිතාන්‍ය ආර්ථිකයට මේ දිනවල සිදු වී ඇත්තේ වෙනත් රටවලට බෝම්බ දැමීමට නොව තමන්ම බෝම්බයක්‌ බැඳගෙන නිදාගැනීම ය. අන්තිමේදී සිරියාවට බෝම්බ දැමීමට තනියෙන් හෝ යැමට දැන් ඇමරිකාව සූදානම් ය. නවනීදන් පිල්ලේ මේ ගැන වචනයක්‌වත් කතා නොකරන්නේ ඇයි? සිරියාවේදී කැඩෙමින් පවතින්නේ සහ කැඩෙන්නට යන්නේ සාමාන්‍ය ජනයාගේ මිනිස්‌ අයිතිවාසිකම් නොවන්නේද? ඒ සඳහා පිල්ලේ මහත්මිය ටෙන්ඩරයක්‌ කැඳවා මල්වඩම් ලොරි කිහිපයක්‌ම ලබා ගත යුතු ය. මීළඟට යන කවර රටකට හෝ වැදගත් සිතින් යන ලෙස ඇයගෙන් අපි ඉල්ලමු. ඇය, මල්වඩමක්‌ නොවිය යුතු ය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.