නවි පිල්ලේගේ චෝදනා
එක්‌සත් ජාතීන්ගේ මැදිහත් විමකටද?



බෞද්ධ කොඩිය ගැන විමසන නවි පිල්ලේ
ඩොලර් නෝට්‌ටුවේ අඩංගු මේ පාඨය ගැන නොවිමසන්නේ මන්ද?


පැමිණිලිකරු, සාක්‍ෂිකරු හා විනිසුරු ලෙස ක්‍රියා කළේ ප්‍රභාකරන්ය. එහෙත් පසුගියදා මෙරටට පැමිණි මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේ ක්‍රියා කළේ ද එම ක්‍රියාදාමය මතය. ඇයගේ යාපනය, හා මුලතිව් සංචාරයට රොයිටර්, අල්ජසිරා සහ බී.බී.සී. මාධ්‍ය නියෝජිතයන්ට අවසර දී තිබුණි. පසුගිය සෙනසුරාදා ඇය කොළඹ එක්‌සත් ජාතීන්ගේ පරිශ්‍රයේදී අල් ජසීරා සහ බී.බී.සී. ඒජන්තවරුන් සමඟ වෙනමම සාකච්ඡාවක්‌ කළාය. එක්‌සත් ජාතීන්ගේ කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී නිලධාරීන් ක්‍රියා කළේ අල්ජසිරා ඒජන්තවරියට අවශ්‍ය පරිදි බව දැක ගැනීමට ලැබුණි. අල් ජසීරා ඡායාරූප ශිල්පියාට අපහසුතාවක්‌ නොවන පරිදි ඉදිරි පෙළ් සිටි මාධ්‍ය පාර්ශ්වයන් ද ඉවත් කෙරුණි.

නවි පිල්ලේ මුල්ලවෛලලි වයික්‌කාල් යන විට අල් ජසීරා සහ බී.බී.සී. ඒජන්තවරුන් ගෙන ගියේ ඇය එකී ප්‍රදේශයේදී මල් වට්‌ටි තබා ගෞරවය දක්‌වන අයුරු ලොව පුරා විකාශනය කිරීමටය. එහෙත් අගේ උත්සාහය ව්‍යර්ථ විය.

මෙහිදී යාපනය හා මුලතිව් සංචාරයට දේශීය මාධ්‍ය පාර්ශ්වවලට ඇරයුම් නොකළේ ඇය එකී ප්‍රදේශවලදී හමුවන පිරිස්‌ සමඟ කතා කරන දේ රජයට වාර්තාවනු ඇතැයි සැකයෙනි. එසේ වුවත් අල් ජසීරා හා බීබීසී ය කෙරේ ඇය විශ්වාසය තැබුවාය.

එක්‌සත් ජාතීන්ගේ කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඇය නැඟූ චෝදනා මෙරට රාජ්‍ය නොවන සංවිධාන ද්‍රවිඩ සංධානය හා වෙනත් පක්‍ෂ විසින් ඉදිරිපත් කළ කරුණු යෑයි සනාථ විය.

ප්‍රභාකරන් ඇතුළු මියගිය කොටි වෙනුවෙන් පුෂ්පෝහාර දැක්‌වීමට ඉදිරිපත් වූ නවි පිල්ලේ ඉන්දීය සාගරයට ගොස්‌ බිල් ලාඩන් සිහිකිරීමට මල් වඩමක්‌ මුහුදට දමන්නේද?

2012 ජිනීවා නුවර පැවැති මානව හිමිකම් සමුළුවට සහභාගි වූ ශ්‍රී ලංකා නියෝජිත පිරිස තමන්ට හිරිහැර කරන බවට ඇයට පැමිණිලි කරනු ලැබීය. "අපි ජිනීවා මාර්ගයේ යන විටත් රජයේ නියෝජිතයන් අප පසුපස හඹා ආවා යෑයි ද මේ අය සාවද්‍ය ලෙස කියා සිටියහ.

එම පැමිණිලි ගැන එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක ඒකකය පරීක්‍ෂා කළා යෑයි ඇය කීවාය. ශ්‍රී ලංකා නියෝජිත කණ්‌ඩායමෙන් විමසීමක්‌ නොකර පැමිණිල්ල ගැන විභාග කරන්නේ කෙසේද යන්න ගැන නවි පිල්ලේ කිසිදු ප්‍රකාශයක්‌ කළේ නැත. එසේම ශ්‍රී ලංකාව සම්බන්ධ පිටු හයක ප්‍රකාශයක්‌ කළ ඇය 2005 සිට මාධ්‍යවේදීන් 30 කට අධික පිරිසක්‌ ඝාතනය වී ඇති බව ද පළ කළාය.

මෙපමණ සංඛ්‍යාවක්‌ ඝාතනය වූ බව ඇය කියන්නේ කෙසේද? මෙය මුළුමනින්ම මුසාවක්‌ නොවේද?

එසේම කොළඹ නිදහස්‌ චතුරශ්‍රය අසල ලෙලදුන් බෞද්ධ කොඩිය ගැන ද ඇගේ විවේචනයට ලක්‌වී ඇත.

එල්ල වී ඇති යුද අපරාධ චෝදනා ගැන විමර්ශනය කිරීමට ජාතික යාන්ත්‍රණයක්‌ ක්‍රියාත්මක නොකළහොත් ජාත්‍යන්තර විමර්ශනයක අවශ්‍යතාdව ගැන කෙරෙන ඉල්ලීම් වැඩිවන බව ද නවි පිල්ලේ ප්‍රකාශ කරනු ලැබීය.

එහෙත් අද එක්‌සත් ජාතීන්ගේ අවසරයකින් තොරව ප්‍රංශය බ්‍රිතාන්‍ය හා ඇමරිකාව යන රටවල් සිරියාවට ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වේ. එලෙස ප්‍රහාර එල්ල කළහොත් සිවිල් වැසියන් මියනොයනු ඇතැයි ඇය සිතන්නේද?

නවි පිල්ලේගේ සංචාරයේදී ද්‍රවිඩ සංධානය සමඟ ද ඇය සාකච්ඡා කළාය. ඇය සමඟ සාකච්ඡා කළ පාර්ශ්වයන්ට හිරිහැර කරන බව පැවසුවේ ද්‍රවිඩ සංධානයයි. එහෙත් කොටි සංවිධානයේ බලයලත් නියෝජිතයා ලෙස ක්‍රියා කළේ ද්‍රවිඩ සංධානයයි. යුද අපරාධවලට සම්බන්ධ ඇඩෙලා බාලසිංහම්, අන්තර්වාර ඊළාම් ආණ්‌ඩුව සහ කොටි නියෝජිතවරු ලෙස ක්‍රියා කළ ද්‍රවිඩ සංධානය ගැන ඇගෙන් විසමූ විට ඊට නිසි ප්‍රතිචාරයක්‌ දැක්‌වීමට ක්‍රියා නොකළාය.

නවි පිල්ලේගේ ශ්‍රී ලංකා සංචාරයේදී ඇය මුහුණපෑ බරපතළ අපහසුතාවය වූයේ ආරක්‍ෂක ලේකම්වරයා සමඟ පැවැති සාකච්ඡාවයි.

ශ්‍රී ලංකාව සම්බන්ධව යෝජනා දෙකක්‌ ගෙන ඒමට ඇමරිකාවට සදාචාරාත්මක හිමිකමක්‌ නැතැයි පසුගියදා ආරක්‍ෂක ලේකම්වරයා කළ ප්‍රකාශයට ඇය ප්‍රතිචාර දැක්‌වූයේ නැත.

ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සිදුකරන විනාශකාරී ක්‍රියාපවා ආරක්‍ෂක ලේකම්වරයා පවසද්දී නවි පිල්ලේ නිහඬ වී ඇත.

මේ පසුබිම මැද ඇය මෙරට ජාතික ආරක්‍ෂාවට සෘජුවම මැදිහත් වී තිබේ. ත්‍රස්‌ත පනත ඉවත් කිරීම, උතුරින් හමුදාව ඉවත් කිරීම, 13 වැනි සංශෝධනය, හිටපු කොටි ක්‍රියාකාරීන් ගැන නිරීක්‍ෂණය කිරීමෙන් වැළකීම, අත්අඩංගුවේ සිටින කොටින්ට චෝදනා ඉදිරිපත් කිරීම, හෝ ඔවුන්ව පුනරුත්ථාපනය කිරීම වැනි කරුණු ගැන ද මානව හිමිකම් කොමසාරිස්‌වරිය සඳහන් කරනු ලැබීය.

ඇමරිකානු ජාතික ආරක්‍ෂක ඒජන්සිය රටට රටවැසියන් ගැන නිරීක්‍ෂණය කරන බව සනාථ වී තිබියදී නවි පිල්ලේ මෙරට හිටපු ත්‍රස්‌තවාදීන් ගැන ද විමර්ශනය කිරීම වැරැද්දක්‌ ලෙස දකී.

එසේම මාවිල්ආරු සොරොව්ව වැසීමට මුල් වූ සහ අපරාධකාරී ක්‍රියා රැසක්‌ කළ ත්‍රිකුණාමල කොටි දේශපාලන නායක එල්ලන්ගේ බිරිය සමඟ සාකච්ඡා කිරීමෙන් සිය ස්‌වාධීනත්වය ප්‍රකාශ කළේ නැත.

කොටි මිනීමරු සංවිධානයක්‌ ලෙස කොළඹදී පැවසූ නවි පිල්ලේ යාපනයේදී එලිලන්ගේ බිරිය ආනන්තිගෙන් වාර්තාවක්‌ බාර ගත්තේ ඇයි?

කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඇය නැඟූ චෝදනා සමඟම ස්‌විස්‌ රජය ද ව්‍යාජ සරණාගතයන්ව මෙරටට එවීම තාවකාලිකව නතර කළේය.

තමා සමඟ සාකච්ඡා කළ ද්‍රවිඩ ජාතිකයන්ගෙන් පොලිසිය ප්‍රශ්න කළ බවට නවි පිල්ලේට ද්‍රවිඩ සංවිධානය කළ පැමිණිල්ල ඇය එකහෙළාම බාර ගෙන තිබේ.

ද්‍රවිඩ වැසියන්ට හමුදාව තර්ජනය කළ බව ද්‍රවිඩ සංධානයේ මහ ඇමැති අපේක්‍ෂක විග්නේෂ්වරන් පැවසූ බව බී.බී.සී. කොළඹ වාර්තාකරු කියා සිටියේය.

ඊට පෙර බී.බී.සී.ය පැවසුවේ නවි පිල්ලේ පැමිණීමට පෙර මුල්ලිවයික්‌කාල් ප්‍රදේශය ශුද්ධ පවිත්‍ර කිරීමට ක්‍රියා කර ඇති බවයි.

මේ තත්ත්වය මැද ඇය කොළඹ නිදහස්‌ චතුරශ්‍රය සමීපයේ ලෙලදුන් බෞද්ධ කොඩි ගැන නිරීක්‍ෂණය කළ යුතුය.

නිදහස්‌ චතුරශ්‍රය අසල බෞද්ධ කොඩිය ළෙල දීම ගැන ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළ නවිපිල්ලේ බ්‍රිතාන්‍යයේ එළිසබත් රැජිනගෙන් එංගලන්ත සභාවේ ප්‍රධානියා වීම ගැන හෝ ඇමරිකානු ජනාධිපති ඔබාමාගෙන් ඩොලර් නෝට්‌ටුවේ zඅපි දෙවියන් කෙරේ විශ්වාසය තබන්නෙමු" යෑයි මුද්‍රණය කර ඇත්තේ මන්දැයි විමසා නැත.

මෙවන් වාතාවරණයක්‌ මත නවි පිල්ලේ ශ්‍රී ලංකාවට එරෙහිව චෝදනා නගා ඇත්තේ එක්‌සත් ජාතීන්ගේ ආර්. 2- පී. නමැති මැදිහත්වීමේ ක්‍රමවේදය ශ්‍රී ලංකාවට යොමු කර ගැනීමේ අරමුණෙනි.

කොටි මිනීමරු සංවිධානයක්‌ ලෙස ඇය හැඳින්වුවත්, ප්‍රභාකරන් ගැන ඇය වචනයක්‌වත් සඳහන් කළේ නැත. එය දුන්න ගැන මිස දුනුවායා ගැන කතා නොකිරීමට සමානය.

මේ අතට කොටි ඩයස්‌පෝරාව වෙනුවෙන් ද නවි පිල්ලේට ප්‍රශ්න යොමු වී තිබිණි. සමූලඝාතනයන් සිදු වී තිබෙන බවට චෝදනා කෙරෙනවා යෑයි නවි පිල්ලේ සමඟ කෙරුණ සාකච්ඡාවකදී ප්‍රශ්න කළ විට ඇය ඊට ප්‍රතිචාර දක්‌වා ඇත්තේ මට කිසිවෙක්‌ එවැනි දෙයක්‌ නොකී බවයි.

සැප්තැම්බර් 9 දා ඇය ජිනීවා මානව හිමිකම් සැසිවාරයට සිය වාචික වාර්තාව යොමු කිරිමට නියමිතය.

2014 මාර්තු මස පැවැත්වෙන මානව හිමිකම් සමුළුවට ශ්‍රී ලංකාව සම්බන්ධව වචන 8500 ක වාර්තාවක්‌ ඇය ඉදිරිපත් කරනු ඇත.

එහෙත් එම වාර්තාව ස්‌වාධීන විය හැකිද?

නවි පිල්ලේ මෙරටට පැමිණීමට දින දෙකකට පෙර යාපනයේදී ඔස්‌ටේ්‍රලියානු මාධ්‍යවේදියකු සමඟ සාකච්ඡා කළ හිටපු කොටි මාධ්‍ය ප්‍රකාශක දයා මාස්‌ටර් පැවසුවේ හිටපු ඉන්දීය අගමැති රජීව් ගාන්ධි මැරුවේ කොටි බව යි.

වෙල්ලමුල්ලි වයික්‌කාල්හිදී මල්වඩම් තැබීමට උත්සාහ කළ පිල්ලේ කොළඹදී හිටපු විදේශ ඇමැති ලක්‍ෂ්මන් කදීර්ගාමර් වෙනුවෙන් මල් වඩමක්‌ තැබුවේ නැත.

ඇය අධිකරණය - ආරක්‍ෂාව සහ දේශපාලනය ගැන ද කරුණු දක්‌වා තිබේ. එය මානව හිමිකම් කවුන්සලයේදී ඇයට ලැබී ඇති බලය ඉක්‌මවා යැමක්‌ නොවන්නේද?

කීර්ති වර්ණකුලසූරිය
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.