බෞද්ධ කොඩියට නිසි තැන දෙමු

සමස්‌ත ලෝකවාසී බොදු ජනතාවගේ ම ගෞරවයට පාත්‍ර වූ බෞද්ධ කොඩියට වර්තමානයේදී ඇතැම් පුද්ගලයන් විවිධ වෙනස්‌කම් සිදුකරන බැව් මා වෙත වාර්තා වී ඇත. එවැනි තත්ත්වයක්‌ යටතේ අපේ බෞද්ධ කොඩියට නිසි තැන හිමි නොවන බව හැඟී ගිය නිසාම පසුගිය වෙසක්‌ සමයේදී දන්සල් හා වෙනත් ස්‌ථානයන්හි ජනතාව කැඳවීම පිණිස බෞද්ධ කොඩිය යොදා නොගන්නා ලෙසත් ඒ සඳහා කහ පාට කොඩියක්‌ භාවිත කරන ලෙසත් අප සියලුම මාධ්‍ය මගින් දැනුම්දීම් කළේ බෞද්ධ කොඩියට සිදුවෙන හානිය හා අපකීර්තිය නතර කිරීම සඳහා බව නැවත සිහිපත් කළ යුතුය.

පසුගිය කාලයේ විවිධ ආයතන හා පුද්ගලයන් තම තමන්ගේ නම් ආයතන නම් දමා බෞද්ධ කොඩිය කිසියම් ප්‍රචාරක මාධ්‍යයක්‌ ලෙසින් භාවිත කළ බවද නොරහසකි. වෙසක්‌ සමයේදී විවිධ ඡායා රූප, වැකි දමා හැඩ කොට බෞද්ධ කොඩිය යාන්තමට සංකේතයක්‌ කොට තිබියදී අප දෙපාර්තමේන්තුවක්‌ වශයෙන් සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියේ බෞද්ධ කොඩිය යනු නීල (නිල්), පීත (කහ), ලෝහිත (රතු), ඕදාත (සුදු) හා මාංජ්‍යෙෂ්ඨ (රතු මිශ්‍ර කහ) යන වර්ණයන්ගෙන් යුතු වෙනත් රූප හා වැකි නැති කොඩියක්‌ භාවිත කරන ලෙසටය.

සියලු සංකේතයන්ට අනන්‍යතා ඇති අතර බෞද්ධ කොඩියට ද එවැනි වටිනාකම් සහිත අනන්‍යතාවක්‌ ඇත. මේ දිස්‌වන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ සවණක්‌ රැස්‌ මාලාවයි. එය ඒ අයුරින් බොදු ජනතාවට පෙනෙන්නට සැලැස්‌වීම කොඩි නිෂ්පාදනය කරනු ලබන ආයතනවල වගකීමකි. කිසිවෙක්‌ සිය ආගමික සංකේත වෙනස්‌ කරනවාට කිසිසේත් ම කැමැති නැත. එවැන්නක්‌ කිරීම කොඩිය කිසියම් ආකාරයකින් හානියකට සහ අනාගත පරපුර වෙනුවෙන් ඉතිරි කිරීමට කටයුතු නොකිරීමකි.

වර්ෂ 1987 දී ප්‍රමිති ගත වූ කෙටුම්පතෙහි සම්මත වූ බෞද්ධ කොඩිය අන්තර් ජාතික කොඩියක්‌ වශයෙන් ධජ පතාක විශේෂඥයන් විසින් අනුමත කර ඇත්තේ එහි වැකි හා ඡායා රූප නොමැති වර්ණ තීරු සහිත කෙඩියක්‌ ලෙසිනි. බෞද්ධ කොඩිය පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර කෙටුම්පතෙහි ද වැකි හා ඡායා රූප පිළිබඳ සඳහනක්‌ නැත.

බෞද්ධ කොඩි නිෂ්පාදනය කරන ආයතන විසින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් නිකුත් කර ඇති නීති රීතින්ට අනුව සියලු ආයතන කොඩි නිෂ්පාදනය කළ යුතුය. අත්තනෝමතික බෞද්ධ කොඩියට නොමැති සංකේත එකතු කිරීමටත් නැති වර්ණ සංයෝජන කිරීමටත් හැකියාවක්‌ නැත. වර්ණ සංයෝජන පවා අප භාවිත කළ යුත්තේ නීල (නිල්), පීත (කහ), ලෝහිත (රතු), ඕදාත (සුදු), මාංජ්‍යෙෂ්ඨ (රතු මිශ්‍ර කහ) යන වර්ණයන්ට හානි නොවන ආකාරයටය. අපට අවශ්‍ය පරිදි පාට වෙනස්‌ කිරීමෙන් අපේක්‍ෂිත සවණක්‌ රැස්‌ මාලාව නොව දැකිය හැකි වන්නේ වෛවර්ණ පාට ලෝකයකි.

මෙවැනි කරුණු මහත් අවධානයෙන් දැන අපේ බෞද්ධ කොඩියට හානි නොපමුණුවා තවත් 2500 ක්‌ සම්බුදු සසුනේ සංකේතයක්‌ ලෙසින් භාවිත කරන්නට බොදු සිත් ශ්‍රද්ධාවෙන් පුරවාලන්නට සුරැකීම අපේ පරම යුතුකමකි.

චන්ද්‍රප්‍රේම ගමගේ
බෞද්ධ කටයුතු කොමසාරිස්‌ ජනරාල්
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.