පිල්ලේගේ චෝදනා 16 රජය ඉවත දමයි

කිර්ති වර්ණකුලසූරිය



මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේ මහත්මිය ශ්‍රී ලංකා රජයට හා හමුදාවට චෝදනා නගමින් එල්ල කළ කරුණු 16 ක්‌ රජය විසින් ප්‍රතික්‌ෂේප කර ඇත.

පිල්ලේගේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවේ දැක්‌වෙන කරුණු අසත්‍ය බව විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා ලන්ඩනයෙහි පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවසා තිබේ.

මෙම කරුණු ඇගේ ස්‌වාධීන නිරීක්‌ෂණයක්‌ මත සිදු වූවක්‌ නොව මෙරට රාජ්‍ය නොවන සංවිධාන හා ද්‍රවිඩ සංධානය ඇතුළු පක්‌ෂ යොමුකළ වාර්තාවල අඩංගු කරුණු යෑයි අනාවරණය වී තිබේ.

මානව හිමිකම් ගැන නිරීක්‌ෂණය කිරීමට නවි පිල්ලේ මෙරටට පැමිණීමත් ඇය සිය බලය ඉක්‌මවා රටේ ජාතික ආරක්‌ෂාවට සම්බන්ධ කරුණු හතරක්‌ සම්බන්ධව සෘජුව මැදිහත්වී ඇත.

ඇය මෙම කරුණුවලට අදාළව සැප්තැම්බර් 9 දා ජිනීවා නුවරදී ආරම්භ වන මානව හිමිකම් සැසිවාරයේදී මාධ්‍ය ප්‍රකාශයක්‌ කිරීමට ක්‍රියා කෙරේ.

ඇගේ එම ප්‍රකාශය ස්‌වාධීන නොවන බවට රාජ්‍ය බලධාරීහු සැකකෙරේ. ඇය කියූ කොටි ක්‍රියාකාරීන් ගැන නිරීක්‌ෂණය කිරීමද වැරැද්දක්‌ ලෙස දන්වා තිබෙනවා යෑයි එම නිලධාරීන් පළ කළේය.

මාධ්‍යවේදීන් 30 ක්‌ 2005 සිට ඝාතනය වූ බවටද ඇයට සාවද්‍ය වාර්තාවක්‌ යොමුවී තිබූ බවද හෙළිවී ඇත.

මේ අතර නවි පිල්ලේ මහත්මිය ලබන මාර්තු 01 ජිනීවා මානව හිමිකම් සමුළුවට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වචන 8500 ක ලිත වාර්තාවක්‌ ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර ලන්ඩන් ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා පහත දැක්‌වෙන කරුණුද අවධාරණයට ලක්‌ කර ඇත.

රජය විසින් සිදු කළ යුද අපරාධ විශාල ප්‍රමාණයක්‌ පිළිබඳව කථා කිරීම මගින් ඇයගේ අගතිගාමී භාවය සහ සාධාරණ බවක්‌ නොමැති බව තවදුරටත් පිළිබිඹු කරයි. මීට ඉහතද පිල්ලේ මහත්මිය යුද අපරාධ පිළිබඳ චෝදනා සඳහන් කළ අතර ඇය කළ ප්‍රකාශවලට අනුව දැන් ඒවා තවදුරටත් චෝදනා නොව ඔප්පු කොට ඇති කරුණු වෙයි.

උතුරේ හමුදාව ජනතාව බියවද්දවමින් සිටින බව පවසන ඇය, එහි සිටින මිනිසුන් හා කාන්තාවන් අතර පවතින බිය පිළිබඳව සඳහන් කොට තිබේ. මෙය ප්‍රතික්‌ෂේප කරමින් කොළඹ සිටින එක්‌සත් ජාතීන්ගේ නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලද වාර්තා මහකොමසාරිස්‌වරිය කියවා නොමැති වීම අනුකම්පාවට ලක්‌විය යුත්තක්‌ බව පීරිස්‌ මහතා සඳහන් කළේය. එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය විසින්ම තෝරාගත් 200 කට ආසන්න පුද්ගලයන් පිරිසක්‌ ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන්ගෙන් 90% ක්‌ ම පවසා ඇත්තේ එහි සුවදායක ලෙස ජීවත්වන බවයි. එමගින් මානව හිමිකම් කොමසාරිස්‌වරියගේ මෙම ප්‍රකාශය කොළඹ එක්‌සත් ජාතීන්ගේ නිලධාරීන්ගේ වාර්තාවෙන් තහවුරු කිරීමට අපොහොසත් වේ. එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය විසින්ම ඉදිරිපත් කරන මෙම සාක්‌ෂි ඇය නොසලකා හරින්නේ ඇයි? මෙය නොසලකා හැරීම සාධාරණීකරණය කරන්නේ කෙසේද? මෙමගින් ඇයගේ පූර්ව නිගමන ගැනීමට යළිත් වරක්‌ කදිම උදාහරණයක්‌ සපයයි.

මාධ්‍ය වෙතින් නැගූ වෙනත් ප්‍රශ්නවලට පිළිතුරු සපයමින්, ශ්‍රී ලංකාව පිළිබඳ අදහස්‌ හා මත ප්‍රකාශ කරන කල්හි රටවල් කරුණු මූලික කරගත යුතු බවට අපේක්‌ෂා කරන, එහෙත් සිද්ධියට අනුරූප ලක්‌ෂණ පදනම් නොකරගන්නා බවක්‌ පෙන්නුම් කරන එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද රටාව විවේචනයට ලක්‌වන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. දැඩි ද්වේශයකින් යුතුව මානව හිමිකම් කොමසාරිස්‌වරිය විවේචනය නොකරන බවත් ඇයගේ වාර්තාව සාධාරණත්වයෙන් විවෘත භාවයෙන් හා සමතුලිත භාවයෙන් තොර බව තමාට පෙනී ගොස්‌ ඇති හෙයින් ඒ පිළිබඳව මහත් කනස්‌සල්ලට පත්වූ බවත් පීරිස්‌ මහතා ප්‍රකාශ කළේය.

මුද්‍රිත හා විද්යුත් මාධ්‍යයන්හි හා ප්‍රවෘත්ති නියෝජිතායතනයන්හි මාධ්‍යවේදීහු කීපදෙනෙක්‌ හා විද්වත් පිරිසක්‌ සහභාගි වූ මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව එක්‌සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ ආචාර්ය ක්‍රිස්‌ නෝනිස්‌ මහතාගේ මෙහෙයවීමෙන් පැවැත්විණි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.