කොටි නැටුම් එළිවෙනවා
- ආරක්‌ෂක ලේකම් කියයි

සිරිමෙවන් කස්‌තුරිආරච්චි

උතුරේ අතුරුදන් වූවන් ගැන කවුරු කුමක්‌ කතා කළත් කොටි ත්‍රස්‌තවාදීන් සිදු කළ ඝාතන සහ රටින් පැනගොස්‌ සැඟවී සිටින කොටි මෙන්ම ව්‍යාජ නම් වලින් පෙනී සිටිමින් අතුරුදන් වූවන් ලෙස ලොවට පෙන්වන පුද්ගලයන් ගැනත් අපට කරුණු හෙළිදරව්වෙමින් පවතින බව ආරක්‌ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා ඊයේ (03 දා) පැවැසීය.

කොළඹ ගලධාරි හෝටලයේ ඊයේ (03 දා) ආරම්භ වූ තෙදින ආරක්‌ෂක සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිත දේශනය පවත්වමින් ඒ මහතා එසේ පැවැසීය.

හමුදාවට භාරවූ 12,000 ක පමණ එල්ටීටීඊ සාමාජිකයන් පුනරුත්ථාපනය කර නැවත සමාජගත කළ බවත්, උතුර, නැගෙනහිර අවතැන් වූවන් සියලුම දෙනා මේ වන විට නැවත පදිංචි කර අවසන් බවත් හෙතෙම පැවැසීය.

තිස්‌ වසරක යුද්ධය අවසන් වූ නිසා දැන් ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය ආරක්‌ෂා වී පවතින බවත්, නීතිය හා සාමය රැකීම පොලිසියට භාරදී යුද හමුදාව ජාතික ආරක්‌ෂාවෙහි නිරතව සිටියදී රටේ සංවර්ධනය සඳහාද දායක වෙමින් සිටින බවත් රාජපක්‌ෂ මහතා වැඩිදුරටත් පැවැසීය.

කොළඹ ගලධාරි හෝටලයේදී ඊයේ (03 දා) ආරම්භ වූ මෙම තෙදින සම්මන්ත්‍රණයට දෙස්‌ විදෙස්‌ හමුදා සහ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයෝ රැසක්‌ සහභාගි වී සිටියහ.

ආරක්‌ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ සහ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරු ඊයේ (03 දා) පෙරවරුවේ මෙම සම්මන්ත්‍රණය අමතා කතා කළහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.