නුවරඑළිය නි. නගරාධිපතිගේ නිවාඩු ඉල්ලුම්පත ඉවතට

ඩග්ලස්‌ නානායක්‌කාර - නුවරඑළිය

නුවරඑළිය මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති තිස්‌ස සෙනෙවිරත්න ඊයේ (03 දා) පැවති නුවරඑළිය මහ නගර සභාවේ මාසික මහා සභා රැස්‌වීමට පැමිණිය නොහැකි බවට නිවාඩු ඉල්ලා යොමු කර තිබූ ලිපියක්‌ මහ නගර සභාව ප්‍රතික්‍ෂේප කර ඇත.

තිස්‌ස සෙනවිරත්න ළමා අපචාර චෝදනා මත දැනට සිටින්නේ රක්‍ෂිත බන්ධනාගාරගතවය.

නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් මහ නගර සභාව වෙත එවා තිබූ නිවාඩු ඉල්ලුම්පත නගරාධිපති මහින්ද කුමාර් දොඩම්පෙගමගේ මහතා විසින් මහ සභාව වෙත ඉදිරිපත් කළ අතර එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන නාගරික මන්ත්‍රීවරුන් වන කුමාර දේශප්‍රිය හා කේ. චන්ද්‍රන් යන නාගරික මන්ත්‍රීවරුන්ගේ යෝජනා ස්‌ථිරත්වයෙන් එය ප්‍රතික්‍ෂේප කෙරිණි.

මේ අවස්‌ථාවේදී එක්‌සත් ජාතික පක්‍ෂ නාගරික මන්ත්‍රීන් වන චන්දන ලාල් කරුණාරත්න, කේ. චන්ද්‍රසේකරන්, කම්කරු එක්‌සත් පෙරමුණේ නාගරික මන්ත්‍රී ආර්. කේතීස්‌ යන මහත්වරු කිසිවක්‌ ප්‍රකාශ නොකර නිහඬව සිටියහ.

මධ්‍යම පළාත් සභාවට මෙවර තරග කරන ආර්. රාජාරාම්, එක්‌සත් ජාතික පක්‍ෂ නාගරික මන්ත්‍රී එල්. නේරුජි යන මහත්වරුන් පැමිණ නොසිටි අතර එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන නාගරික මන්ත්‍රී මොහොමඩ් µලීල් මහතා එවා තිබූ නිවාඩු ඉල්ලුම්පත අනුමත කෙරිණි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.