පොදු සමා කාලයේ අලි ලියාපදිංචි නොකළොත්
නීති පියවර ගන්නවා

- ඇමැති ගාමිණී විජිතමුණි සොයිසා

අනුර බාලසූරිය

නීති විරෝධීව අලි රඳවාගෙන සිටින පුද්ගලයන්ට ලබා දී තිබෙන පොදු සමාකාලය තුළ අලි ලියාපදිංචි කිරීමට කටයුතු නොකළහොත් ඔවුන්ට විරුද්ධව නීති මගින් කටයුතු කරන බව වනජීවී සම්පත් ඇමැති ගාමිණී විජිතමුණි සොයිසා මහතා පැවසීය.

පොදු සමාකාලය නිමවීමෙන් පසු ලියාපදිංචි නොකළ අලින් සොයා පොලිසිය හා හමුදාව ඒකාබද්ධව වැටලීමක්‌ සිදුකරන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

එම අමාත්‍යාංශයේ ඊයේ (3 දා) පැවති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව අවධාරණය කළේය.

නීති විරෝධීව අලි රඳවාගෙන සිටින පුද්ගලයන්ට ලබා දී ඇති පොදු සමාකාලය තුළදී රුපියල් ලක්‍ෂ 10 ක්‌ ගෙවා බලපත්‍රයක්‌ ලබාගත හැකි බව ද ඇමැතිවරයා පැවසීය.

බලපත්‍ර නැතුව පමණක්‌ නොව අලි නැතුවත් බලපත්‍ර ළඟ තබාගෙන සිටින බව අවධාරණය කළ ඇමැතිවරයා මෙම ජාවාරම නතර කිරීමට නීතිමය ක්‍රමවේදයක්‌ සකස්‌ කරන බව ද පැවසීය.

අලි පොත අස්‌ථානගතවීමේ ප්‍රශ්නයේ මෙහි එක්‌ කොනක්‌ බව ද සඳහන් කළ ඇමැතිවරයා අලි පොත අස්‌ථානගතවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ කමිටු වාර්තාව ලබන 27 වැනිදා තමාට භාරදීමෙන් පසු එහි නිර්දේශ නීති ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ද කීවේය.

මෙහිදී අමාත්‍යාංශ ලේකම් උදේනි වික්‍රමසිංහ, අධ්‍යක්‍ෂ ජනරාල් එම්. ඩී. රත්නායක යන මහත්වරු ද අදහස්‌ දැක්‌වූහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.