සීගිරියේ ලොකු ලූනු කිලෝ
විසිපන් ලක්‍ෂයක්‌ වැස්‌සෙන් කුණු වෙයි


සීගිරිය - සරත් එරමිණිගම්මන

පසුගිය දින කිහිපය පුරා සීගිරිය සහ තදාසන්න ප්‍රදේශවලට නොකඩවා ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා අස්‌වැන්න නෙළීමට ආසන්නව තිබූ ලොකු ලූනු වගා බිම් රැසක්‌ වර්ෂා ජලයට යට වී බල්බ කුණු වී යැමෙන් ගොවීහු 400 ක්‌ පමණ දැඩි අසරණ භාවයට පත්ව සිටිති.

සීගිරිය, මයිලත්තෑව, පේක්‌කුලම් යාය, හඟුරන්කෙතයාය යන ප්‍රදේශවල වැඩි වශයෙන් මෙම වගා හානි දක්‌නට ලැබෙන අතර අස්‌වැන්න නෙළා ගැනීමට ආසන්න ලොකු ලූනු කිලෝග්රෑම් විසිපන්ලක්‍ෂයක්‌ පමණ විනාශ වී ඇතැයි මයිලත්තෑව රණමයුර ගොවි සංවිධානයේ සභාපති ඩී. ජී. ජයසේන මහතා ප්‍රකාශ කරයි.

"පසුගිය දිනවල දින හතරක්‌ එක දිගට වර්ෂාව ඇදහැළුණා. අස්‌වැන්න නෙළීමට තිබූ ලොකු ලූනු වගාව ජලයෙන් යට වුණා. ජලය බැස යැම ප්‍රමාද වීම නිසා වගාවේ ලූනු බල්බ සියල්ල කුණු වීමට පටන් ගෙන ගොවීන් 400 කගේ පමණ ලූනු වගාව සම්පූර්ණයෙන්ම විනාශ වෙලා.

මෙවර ලොකු ලූනුවලට හොඳ මිලක්‌ වෙළෙඳපොළේ තිබෙන නිසා අපි සතුටින් සිටියා. බැංකු ණය ගෙවලා දරුවන්ගේ පොත්වලට කීයක්‌ හරි දාන්න පුළුවන් කියලා. ඒ සියල්ල එක වැස්‌සෙන් හේදිලා ගිහිල්ලා අපි අසරණ වෙලා" යෑයි හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.