චීනය අලුත් ශ්‍රී ලංකාවත් ශ්‍රී ලංකාව අලුත් චීනයත්
තේරුම් ගත යුතුයි

- ශ්‍රී ලංකා සංචාරක ආයතනයේ සභාපති චීනයේදී කියයි

මනෝඡ් අබයදීර, ශ්‍යාම් නුවන් ගනේවත්ත

බීජිං හි දිදුලන ශ්‍රී ලංකාව නම් ශ්‍රී ලංකාවේ සංචාරක කටයුතු චීනයේ ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන පසුගියදා චීනයේ චයිනා වර්ල්ඩ් හෝටල් පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් ආරම්භ විය. ග්‍රාමීය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති ඒ. එච්. එම්. µවුසි, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචිනිලමේ, වාණිජ හා කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් අනුර සිරිවර්ධන, ශ්‍රීලංකා සංචාරක ආයතනයේ සභාපති භාෂ්වර සේනාංක ගුණරත්න, චීනයේ ශ්‍රී ලංකා තානාපති රංජිත් උයන්ගොඩ ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස චීන රාජ්‍ය හා පෞද්ගලික අංශ ප්‍රධානීහු මේ සඳහා සහභාගි වූහ.

පැමිණ සිටි චීන ව්‍යාපාරික හා සංචාරක නියෝජිතයන් ඇමතූ චීනයේ ශ්‍රී ලංකා තානාපති රංජිත් උයන්ගොඩ මහතා, "දැන් ශ්‍රී ලංකාවේ කිසිදු යුද්ධයක්‌ නැහැ. ශ්‍රී ලංකාව දැන් සංවර්ධනය වී තිබේ. සියලු ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම ලෝකවාසීන්ටද දැන් සාමකාමී ශ්‍රී ලංකාව විවෘතයි" යනුවෙන් සඳහන් කරමින් ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස සියලු චීන ජනතාවට විවෘත ඇරියුමක්‌ කළේය.

චීනවාසීන් සඳහා ශ්‍රී ලංකාව පිළිබඳ තොරතුරු සංචාරක කටයුතු සඳහා අවශ්‍ය දැනුම යනාදිය ඇතුළත් චීන බසින් සකසන ලද වෙබ් අඩවියක්‌ද මෙහිදී ශ්‍රී ලංකා සංචාරක ආයතනයේ සභාපති භාෂ්වර සේනාංක ගුණරත්න මහතා විසින් විවෘත කරන ලදී.

යුද්ධය නිමාවීමෙන් පසු ශ්‍රී ලංකාව ලබාගෙන ඇති සංවර්ධන ඉලක්‌ක දෙස බලනවිට සංචාරක කටයුතු සඳහා එයට වඩා හොඳ රටක්‌ නැති බවත්, ඓතිහාසික සම්බන්ධතාවන් සහිත මෙම දෙරට සංචාරක සබඳතා වර්ධනය සම්බන්ධයෙන් නව යුගයක්‌ ආරම්භ කළ යුතු බවත් නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචිනිලමේ මහතා ප්‍රකාශ කළේය.

සංචාරක ක්‌ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ දියුණුවට පමණක්‌ නොව සෑම ක්‌ෂේත්‍රයකදීම චීනයේ සහය ශ්‍රී ලංකාවට අවශ්‍ය බවත්, චීන ජනතාව පිළිබඳව සුබවාදී ආකල්පයකින් බලන ශ්‍රී ලාංකිකයන් අතරට පැමිණ තම රට සේම ශ්‍රී ලංකාවටද ආදරය කරන ලෙස ඉල්ලා සිටින බවත් µවුසි මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

ලෝකයේ වැඩිම සංචාරකයන් පිරිසක්‌ සිටින දේශය ලෙස ලෝක සංචාරක සංවිධානය නම්කර තිබෙන චීනය සමඟ සංචාරක සබඳතා තරකර ගැනීම, ශ්‍රී ලංකාවේ සංචාරක ක්‌ෂේත්‍රය සඳහා පමණක්‌ නොව, කෘෂිකාර්මික, කාර්මික සංවර්ධන යන සෑම අංශයක්‌ සඳහා වැදගත් වන්නක්‌ බව ශ්‍රී ලංකා සංචාරක ආයතනයේ සභාපති භාෂ්වර සේනාංක ගුණරත්න මහතා මෙහිදී මාධ්‍යට කරුණු දක්‌වමින් ප්‍රකාශ කළේය. චීනය විසින් අලුත් ශ්‍රී ලංකාවත්, අලුත් චීනය පිළිබඳව ශ්‍රී ලංකාවත් තේරුම් ගැනීම මෙහිදී පළමු කාරණය විය යුතු බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලාංකික නර්තන අංග හා චීන සංස්‌කෘතිකාංග ඇතුළත් සංදර්ශනද පැවැත්විණි. ශ්‍රී ලාංකික භෝජනවලින් චීන ජාතිකයන්ට සංග්‍රහ කිරීම මෙහිදී විශේෂත්වයක්‌ විය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.