ශිෂ්‍යත්වයේදී අසාධාරණයට ලක්‌ වූ
සිසුන්ට දෙන සහනය හෙළි කරන්න

- ලංකා ගුරු සංගමය කියයි

මෙවර ශිෂ්‍යත්ව විභාගයේදී අසාධාරණයට ලක්‌ වූ සිසු සිසුවියන්ට ලබාදෙන සහනය ආණ්‌ඩුව විසින් වහා හෙළි කළ යුතු යෑයි ලංකා ගුරු සංගමය නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේදී ගාල්ල හීනටියන සාරිපුත්ත විදුහල, ගල්ලෑව මකුලාව විද්‍යාලය ඇතුළු විභාග මධ්‍යස්‌ථාන ගණනාවක විභාග ප්‍රශ්නපත්‍ර බෙදා හැරීමෙන් අනතුරුව නැවත එකතුකොට නැවත බෙදාහැරීම් වාර්තා වී ඇත. මෙසේ ප්‍රශ්න පත්‍ර ලබාදීමෙන් පසු නැවත එකතු කිරීමේදී විභාග අපේක්‌ෂකයන් අදාළ ප්‍රශ්න ගණනාවකට පිළිතුරු සපයා ඇති අතර නැවත බෙදා හැරීමේදී එම පිළිතුරු සැපයූ ප්‍රශ්න පත්‍ර වෙනුවට වෙනත් ප්‍රශ්න පත්‍රයක්‌ ලැබීමෙන් එම දරුවන් ව්‍යාකූලභාවයට පත්ව ඇත. මෙම තත්ත්වය තුළ දරුවන් ව්‍යාකූල වීම හරහා ඔවුන්ට සිදුවන මානසික බලපෑම බරපතළයි.

මෙම තත්ත්වය පිළිබඳව දෙමවුපියන් විභාග දෙපාර්තමේන්තුවට මෙන්ම පළාත් අධ්‍යාපන බලධාරීන්ටද පැමිණිලි කර ඇතත් මේ සම්බන්ධයෙන් ලබාදෙන සහනය පැහැදිලි කොට නැත. 2013 සැප්තැම්බර් 3 වැනි දින ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත් ඇගයීම් කටයුතු ආරම්භ වන අතර මේ දක්‌වා මෙම අසාධාරණයට ලක්‌වූ දරුවන් සම්බන්ධයෙන් අනුගමනය කරන සහනශීලී පිළිවෙත කුමක්‌දැයි විභාග දෙපාර්තමේන්තුව පැහැදිල කොට නැත. සිය ප්‍රකාශවලදී සෑම මනුෂ්‍ය ජීවිතයකම වැදගත්කම කතාකරන අධ්‍යාපන ඇමැතිවරයා මෙම දරුවන් සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කරමින් සිටී.

විභාග අපේක්‌ෂකයෙකුට තමන්ට සිදුවූ අසාධාරණය නිවැරදි කිරීමට ගන්නා පියවර කුමක්‌දැයි දැනගැනීමට ඇති හිමිකම විභාග දෙපාර්තමේන්තුව විසින් තහවුරු කළ යුතුය. මෙම සිදුවීමෙන් පීඩනයට පත් දරුවන්ට ලබාදෙන සහනය කුමක්‌දැයි අධ්‍යාපන අමාත්‍යාංශය වහාම ප්‍රකාශයට පත් කළ යුතු බව ලංකා ගුරු සංගමය පවසා සිටී.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.