බීමතින් තම නිවසට ගිනි තැබූ පුද්ගලයා
වස බී ගින්නට පනින්න හදයි


වැලිගම - රන්ජන් ජයවර්ධන

බීමතින් තම නිවසට ගිනි තැබූ පුද්ගලයකු ගින්න නිවා දැමීමට අලස්‌වාසීන්ට ද ඉඩක්‌ නොදී තර්ජනය කරමින් සිටියදී සිද්ධිය සැලවී පොලිස්‌ නිලධාරීන් පැමිණිවිට ඔහු අත තිබු වස කුප්පියක්‌ පානය කර ගිනි ගන්නා ගෙය මැද්දට දිව යද්දී පොලිස්‌ නිලධාරීන් විසින් අධික පරිශ්‍රමයක්‌ දරා ඔහු අල්ලා මාතර රෝහලට ඇතුළත් කිරීමේ සිද්ධියක්‌ 02දා වැලිගම පොලිසියෙන් වාර්තා විය.

2 වැනිදා පස්‌වරු 1.00 ට පමණ වැලිගම තල්අරඹ තාප්පවත්ත ප්‍රදේශයේදී මෙය සිදුව තිබේ. වස බීම නිසා රෝහල්ගත කෙරුණේ ඩයස්‌ දළුගොඩ 54 හැවිරිදි වඩු කාර්මික සිවුදරු පියෙකි. සිද්ධිය සිදුවන අවස්‌ථාවේ ඔහු පමණක්‌ නිවසේ සිටි ඇති අතර ඔහුගේ බිරිඳ එම ප්‍රදේශයේම පෞද්ගලික ආයතනයක සේවය කරයි. ඔහුගේ විවාහක පුතුන් දෙදෙනාගෙන් එක්‌ අයකු මැදපෙරදිග සේවය කරයි. තවත් පුතකු උසස්‌ පෙළ හදාරණ අතර දියණිය පරිගණක උපදේශකවරියකු ලෙස සේවය කරයි. ඇයගේ විවාහය වෙනුවෙන් සැදූ බඩු මූට්‌ටුද එම ගින්නෙන් පිළිස්‌සී ගොස්‌ ඇතැයි සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයාගේ බිරිය වන පද්මා චන්ද්‍රිකා මහත්මියගේ වැඩිමල් සොයුරියක කියා සිටියාය. මීට මාස තුනකට ඉහතදී මව මිය යැමෙන් පසුව කිසිදු පාලනයකින් තොරව සිය මස්‌සිනා හැසිරුණු බවද ඇය කීවාය. සිද්ධිය සැලවීමත් සමඟ මාතර නගර සභා ගිනි නිවන අශයේ කණ්‌ඩායම් භාර නිලධාරී එම්. පී. බාලසූරිය මහතාගේ අධීක්‍ෂණය සමඟ එච්. එම්. හර්ෂ සංජීව, එච්. ආර්. ජී. සම්පත්, අයි. ඩී. වැල්ලක්‌කගේ. එච්. බී. එල්. සඳමාල්, පී. එන්. එදිරිසූරිය යන නිලධාරීහු වහා එම නිවසේ ගින්න මැඬපවත්වා අවට නිවාසවලට එය පැතිරීම වැළැක්‌වූහ.

වැලිගම මූලස්‌ථාන පොලිසියේ පො.කො. 35240 විඡේසිරි සහ පො.කො. 94913 ආර්. ඩී. මධුසංඛ යන නිලධාරීන් විසින් මහත් පරිශ්‍රමයක්‌ යොදා වස පානයකොට ගින්නට පැන්න එම නිවස හිමිකරු මෙල්ලකොට ඔහු මාතර රෝහලට ප්‍රතිකාර සඳහා පිටත්කොට යවා ඇත. වැලිගම පොලිසිය පරීක්‍ෂණයක්‌ පවත්වයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.