උපකාරක පන්ති ගුරුවරයා අපහාසාත්මක වැඩක

අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු

අනුරාධපුර නව නගරයේ බස්‌ නැවතුම්පළ අසල පෞද්ගලික උපකාරක පන්තියක වැසිකිළියක සූක්‍ෂමව ජංගම දුරකථනයක්‌ සවි කොට එමගින් සිසුවියන්ගේ දර්ශන වීඩියෝ ගත කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් ඉංග්‍රීසි ගුරුවරයා මේ මස 16 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට අනුරාධපුර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ධම්මික හේමපාල මහතා පෙරේදා(02 වැනිදා) නියෝග කළේය.

ගාල්ල, රඡ්ගම, කිවුලන්ගොඩ, කොරගහවත්ත ප්‍රදේශයේ ස්‌ථිර පදිංචි දැනට අනුරාධපුර පුවරසන්කුලම ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින තිස්‌ හැවිරිදි ටියුෂන් ගුරුවරයකු මෙලෙස රක්‌ෂිත බන්ධනාගාර ගත කරනු ලැබිණි.

සැකකාර ගුරුවරයා සන්තකයේ තිබී ජංගම දුරකථන දෙකක්‌ අත්අඩංගුවට ගත් බවත් ඉන් එක්‌ දුරකථනයක අසභ්‍ය වීඩියෝ දර්ශන ඇතුළත්ව තිබූ බවත් අනුරාධපුර පොලිසියේ කොට්‌ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පැවසීය.

මේ අතර අනෙක්‌ ජංගම දුරකථනය සැකකරු සමග අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්‌ථාවේ ඔහු එහි තිබූ මෙමරි කාඩ්පත (දත්ත ගබඩා කරන කාඩ්පත) සපා එය විනාශ කළ බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.