සයුරු තෙර හිඳ නැණ පහස දෙන 'ලෝගොස්‌ හෝප්'



කොළඹ වරායේ මඟී පර්යන්ත ජැටියේ 'එම්. වී. ලෝගොස්‌ හෝප්' නමැති අධ්‍යාපනික පුස්‌තකාල නෞකාව නැංගුරම් ලා ඇත.

ලෝකයේ විවිධ වර්ගයේ නෞකාවන් බිහිව තිබුණත් ඒවා රටින් රට භාණ්‌ඩ එහා මෙහා ගෙන යන්නාක්‌ මෙන්ම මෙම නෞකාව රටින් රට ගෙන යන්නේ ඥාන සම්භාරයන් ය. විශේෂයෙන් ම දුර්ලභ ගනයේ පතපොත මේ මගින් ලොව පුරා ප්‍රචලිත කෙරේ.

ලෝගොස්‌ හෝප් නෞකාව 1973 වර්ෂයේ නිෂ්පාදනය කරන ලද නෞකාවක්‌ වන අතර මුල්ම නාමය වී ඇත්තේ "Gustar Vasa" යනුවෙනි. මුලින්ම වාහන ප්‍රවාහනය සඳහා මුහුදු ගමනාගමනයට එක්‌ව ඇත්තේ උතුරු අත්ලාන්තික්‌ මාර්ගයන් ඔස්‌සේ ය. ඉන් අනතුරුව 2009 වන විට (Good Book for all - Gute Bucher Fur Alle) යන ජර්මන් පුණ්‍ය ආයතනය විසින් මෙම නෞකාව මිලයට ගෙන පුස්‌තකාල නෞකාවක්‌ වශයෙන් ලොව පුරා සංචාරය කෙරිණි.

නෞකාව දිගින් මීටර් 132.50 වන අතර, පළල මීටර 21.06 කි. තට්‌ටු 9 කින් සමන්විතය. වැලන්ටා මොල්ටාහි ලියාපදිංචි කර ඇත.

මෙම නෞකාවෙහිම වැඩිමහල් සහෝදරියක වන 'ඩූලස්‌' නෞකාව 1998 වර්ෂයේ කොළඹ වරායේ එවකට රැජින තටාකයට සේන්දු වී ඇත. ඇයගේම ඥාති සහෝදරි ලෝගොස්‌ පුස්‌තකාල නෞකාව 1970 වර්ෂයේ සිට මුහුදු ගමන් අරඹා ඇති අතර චිලී රටේ දී හදිසි අනතුරකින් සදහටම වෙන්වී ඇත. එම අඩුපාඩුව සපුරාලමින් එම්. වී. ලෝගොස්‌ හෝප් නෞකාව ලෝකයේ විශාලතම වූත්, ප්‍රකට වූත්, ජංගම පොත් ප්‍රදර්ශනාගාරයක්‌ ලෙසට මෙහෙවරක්‌ කරන්නීය.

ලෝකයේ රටවල් 40 ක පමණ සාමාජිකයන් ස්‌වෙච්ඡාවෙන් මෙන්ම මෙම නැවෙහි සේවය කිරීම ජාතිභේද, ආගම් භේද, කුලභේද නොතකා සමානාත්මතාව රජයන සමාජයක්‌ ගොඩනැගීමට දරන ප්‍රයත්නය ප්‍රශංසනීයයි. ය. නැවෙහි කපිතාන්වරයාගේ පටන් 400 ක්‌ පමණ සමන්විත කාර්ය මණ්‌ඩලය දුම්පානයෙන්, මත්පැන් පානයෙන් වැළකී සිටීම අගනා ආදර්ශයකි.

ඩූල්ස්‌ හෝප් ලංකාවේ නවතා ඇති කාලය තුළදී ලාංකීය ස්‌වෙච්ඡා සංවිධාන ද එහි සේවය සඳහා ඉදිරිපත් වී සිටිති. මෙය ජාතීන් අතර අෙන්‍යාන්‍ය සහයෝගිතාව වර්ධනය කිරීමට ශ්‍රී ලංකාව ද දායකවීමකි. මෙම නෞකාවේ පොත් වර්ග 5000 ක්‌ පමණ ඇති අතර ඒවා අතර දර්ශන, ආගම්, සමාජ විද්‍යා, භාෂා හා ශබ්ද කෝෂ හා සාහිත්‍ය ග්‍රන්ථ සමූහයක්‌ මෙහිදී අපට දැක ගත හැකිය.

ක්‍රිස්‌තියානි ධර්මයට සම්බන්ධ පතපොත කෙරෙහි යොමු කරනු ලැබ ඇති සුවිශේෂ අවධානය මෙහිදී කැපී පෙනෙන්නක්‌ වුවද, ආගමික ශික්‍ෂණයෙන් පණ පෙවුන සංවරශීලී නෞකා කාර්ය මණ්‌ඩලයෙන් ද මෙය මනාව පැහැදිලි වේ.

'ඩූලස්‌ හෝප්' නෞකාව සැප්තැම්බර් 22 දක්‌වා කොළඹ වරායේ රැඳී සිටීමට නියමිතය.

නිමල් ජයතිස්‌ස
ප්‍රධාන මෙහෙයුම් කළමනාකරු, ශ්‍රී ලංකා වරාය අධිකාරිය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.