ආණ්‌ඩුව රටේ සංවර්ධනයක්‌ ගැන කතා කළත්
ජනතාවගේ සාක්‌කුවල පසුම්බිවල මුදල් නැහැ

- එජාප නායක රනිල් වික්‍රමසිංහ

වැටුප් වැඩි කරන්නැයි ඉල්ලා කරන වෘත්තිය සමිති
විරෝධතාවලට එජාපයේ පූර්ණ සහය දෙනවා.

අකිත පෙරේරා

රාජ්‍ය සහ පෞද්ගලික සේවකයන්ගේ වැටුප් මීළඟ අයවැයට පෙර වැඩිකරන ලෙස රජයට බලකරමින් වෘත්තීය සමිති විසින් රට පුරා ක්‍රියාත්මක කිරීමට යන විරෝධතා ව්‍යාපාරයට එක්‌සත් ජාතික පක්‍ෂයේ පූර්ණ අනුග්‍රහය සහ දායකත්වය ලබා දෙන බව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

ජාතික සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති රැසක ක්‍රියාකාරීන් පෙරේදා (02 දා) විපක්‍ෂ නායක කාර්යාලයේදී හමුවූ අවස්‌ථාවේදී හෙතෙම මේ බව කියා සිටියේය. එහිදි වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ විපක්‍ෂ නායකවරයා මෙසේද කීය.

රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් 2500කින් වැඩිකරන බවට 2010 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා රටත්, ජනතාවත් හමුවේ පැහැදිලිව පොරොන්දු වුණා. මේ පොරොන්දුව අනුව රාජ්‍ය සේවකයන් බහුතරය එම ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළා. 2010 ජනාධිපතිවරණය අවසන්වී මේ වනවිට අවුරුදු 3 ක්‌ ගතවී ඇතත් මේ දක්‌වාම පොරොන්දු වූ පරිදි රුපියල් 2500 කින් රාජ්‍ය සේවක වැටුප ආණ්‌ඩුව සහ ජනාධිපතිවරයා වැඩි කළේ නැහැ. එම නිසා මේ අවුරුද්දේ අයවැයට පෙර සියලුම රාජ්‍ය සේවක සහ පෞද්ගලික අංශයේ සේවක වැටුප් වහාම වැඩිකරන ලෙසට ආණ්‌ඩුවට බලකරමින් විරෝධතා ව්‍යාපාරයක්‌ රටපුරා ක්‍රියාත්මක කිරීමට වෘත්තීය සමිති ඒකාබද්ධව තීරණය කර තිබෙන අතර, ඒ ගැන මේ වෘත්තීය සමිති මට මේ මොහොතේ දැනුම් දුන්නා. එසේ නම් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවක වැටුප් වහාම වැඩිකරන ලෙසට ආණ්‌ඩුවට බල කරමින් වෘත්තීය සමිති එකට ඒකාබද්ධව රටපුරා ගෙන යන වැඩ පිළිවෙලට එක්‌සත් ජාතික පක්‍ෂය සිය පූර්ණ අනුග්‍රහය සහ දායකත්වය ලබා දෙනවා.

ශ්‍රී ලංකා මහබැංකු වාර්තාවට අනුව මේ රටේ පවුලකට ජීවත්වීම සඳහා මසකට රුපියල් 40,000 ක්‌ අවශ්‍ය වනවා. රාජ්‍ය සේවකයන් බහුතරයට මසකට රුපියල් 40,000 ක වැටුපක්‌ හිමි නොවන අතර, බොහෝ අයට හිමි වන්නේ රුපියල් 25,000 ක පමණ වැටුපකුයි. එසේ නම් ජනතාව ජීවත් වන්නේ කෙසේද? ඒකාධිපති රාජපක්‍ෂ රෙජීමය ඒ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙන්නේ නැහැ. එමෙන්ම ඊට කිසිදු විසඳුමක්‌ ලබාදීමට ක්‍රියාකරන්නේ නැහැ. මේ තත්ත්වය යටතේ බොහෝ අය සිය රැකියාව කරමින් තවත් අමතර රැකියාවක්‌ කිරීමට උත්සාහ කරන අතර, සමහර අයගේ භාර්යාවන්ද රැකියා කරනවා. මේ ආකාරයට තවදුරටත් ඉදිරියට යන්න වුණොත් සියලු දෙනාටම කරන රැකියාව වෙනුවට තවත් රැකියා කිරීමට සිදුවන අතර, සිය දූ දරුවන්ට පවා විවිධ වෙළෙ¹ම් කිරීමට නියත ලෙසම සිදුවනවා.

ගෙවුණු අවුරුදු තුන ඇතුළතදී ජීවන වියදම විශාල ලෙස වැඩිවුණා පමණක්‌ නොව ආණ්‌ඩුවේ අධ්‍යාපන කප්පාදුව නිසා දූ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වැඩිපුර මුදලක්‌ වැය කිරීමට දෙමව්පියන්ට සිදුවෙලා. නිදහස්‌ සෞඛ්‍ය ක්‍රමය සම්පූර්ණයෙන්ම කප්පාදු කර තිබෙන නිසා මුදල් ගෙවා ප්‍රතිකාර ලබා ගැනීමට ජනතාවට සිදුව තිබෙනවා. මේ සියල්ල වෙනුවෙන් අමතරව වියදම් කිරීමට ජනතාවට සිදුව තිබෙනවා. මේ තත්ත්වය යටතේ දරුණු රෝගයක්‌ යමෙකුට වැළඳුනොත් ඇත්ත වශයෙන්ම ඒ මුළු පවුලම බංකොළොත් භාවයට පත්වනවා.

විදුලිය ගාස්‌තු වැඩිවී තිබෙන අතර, විදුලි ඒකක 60 ට වැඩිය පාවිච්චි කරනවා නම් විදුලි ගාස්‌තුව විශාල ලෙස ඉහළ යනවා. ආණ්‌ඩුව විදුලිය ගාස්‌තු මෙසේ අසීමිත ලෙස වැඩිකළේ කිසිදු පදනමකින් තොරව බව කිවයුතුයි. ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජලය තිබෙනවා නම් විදුලිය ගාස්‌තු අඩුවිය යුතුයි. එම ජලාශවල ජල මට්‌ටම පහළ ගොස්‌ තිබෙනවා නම් පමණක්‌ විදුලිය ගාස්‌තු වැඩි විය යුතුයි. නමුත් ඊට පරස්‌පර වූ අලුත් ක්‍රමයකට ක්‍රියා කරමින් ඒකාධිපති රෙජීමය ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ පිරීඉතිරී ගොස්‌ තිබියදී විදුලිය වෙනුවෙන් අති විශාල ගාස්‌තුවක්‌ ජනතාවගෙන් අයකරනවා. ඒ අනුව ඒකාධිපති රාජපක්‍ෂ රෙජීමය යටතේ නොඅඩුව වැස්‌ස ලැබෙනවා නම් විදුලිය ගාස්‌තු වැඩිවන අතර, වැස්‌ස අඩුවුණාමත් එලෙසම විදුලිය ගාස්‌තු අසීමිත ලෙස ඉහළයනවා. මේ සියලු බර දරා ගැනීමට සිදුව තිබෙන්නේ මේ රටේ අන්ත අසරණ ජනතාවට බව කිව යුතුයි.

රාජ්‍ය සේවක වැටුප රුපියල් 2500 කින් වැඩිකරන බවට පොරොන්දු වූ ජනාධිපතිවරයා සහ ආණ්‌ඩුව අවසානයේදී කළේ රුපියල් 750 ක දීමනාවක්‌ ලබාදී එම සේවකයන් රැවටීම බව කවුරුත් දන්නවා. එමෙන්ම මේ දීමනාව රාජ්‍ය සේවකයන් සඳහා ගෙවන්නේ තෙමසකට වරක්‌ වන අතර. මෙසේ තෙමසකට වරක්‌ සේවක වැටුප් ගෙවන රටක්‌ ලෝකයේ තිබෙනවා ද කියා ප්‍රශ්න කළ යුතුයි. රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා මුදල් නොමැති බව කියන ආණ්‌ඩුව මහා මාර්ග ඉදිකිරීම සඳහා ආණ්‌ඩුවේ අනුග්‍රාහය ඇතිව බැංකු මාර්ගයෙන් ජාත්‍යන්තරයෙන් ණයට මුදල් එකතු කරමින් සිටිනවා.

රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට සහ පොරොන්දු වූ වැටුප් වැඩිවීම ලබාදීමට ආණ්‌ඩුවට මුදල් නොමැති වුණාට නැව් නොමැති හම්බන්තොට වරාය ඉදිකිරීමට නම් ආණ්‌ඩුවට ඕනෑ තරම් මුදල් තිබුනා. එමෙන්ම අහස්‌ යානා නොමැති ජාත්‍යන්තර ගුවන් තොටුපළක්‌ මත්තල ඉදිකිරීමට මුදල් වියදම් කළ ආණ්‌ඩුව ක්‍රීඩකයින් නොමැති ක්‍රීඩාංගණයක්‌ සූරියවැව ඉදිකිරීමටද විදුලිය නිෂ්පාදනය නොකෙරෙන තාප විදුලි බලාගාරයක්‌ පුත්තලම නොරොච්චෝලයේ ඉදිකිරීමට ද අති විශාල මුදලක්‌ නාස්‌ති කළා. ආණ්‌ඩුව මේ ව්‍යාපෘති වෙනුවෙන් ගත් අතිවිශාල විදේශ ණය සම්භාරය ගෙවීමට සිදුව තිබෙන්නේ ජනතාවටයි. ජාත්‍යන්තරයෙන් ගත් ණය ගෙවීමට යෑයි කියා ආණ්‌ඩුව නිදහස්‌ අධ්‍යාපනය සහ නිදහස්‌ සෞඛ්‍ය වෙනුවෙන් යොදවා තිබෙන ප්‍රතිපාදන කප්පාදු කරමින් සිටිනවා. සංවර්ධනයක්‌ ගැන ආණ්‌ඩුව කතා කළත් මේ කියන සංවර්ධනයෙන් රටේ සේවක සේවිකාවන්ගේ සාක්‌කුවට සහ පසුම්බියට මුදල් වැටී නැහැ. පොරොන්දු වූ පරිදි රුපියල් 2500 කින් රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට ආණ්‌ඩුවට මුදල් නොමැති වුණාට රුපියල් කෝටි ගණන් වියදම් කර අක්‌කර 500 ක්‌ කොළඹ, මුහුද ගොඩ කිරීමට නම් හැකියාව තිබෙනවා. මේ ආණ්‌ඩුව යටතේ විශ්‍රාමිකයන්ට කිසිදු සහනයක්‌ මෙතෙක්‌ සැලසී නොමැති අතර ආණ්‌ඩුව මෙසේ මුදල් සොයා ගැනීම සඳහා බැංකුවලින් ණයකර නිකුත් කළ විට ඒ සල්ලි ගෙවීමට සිදුවන්නේද ජනතාවටයි.

සේවක අර්ථසාධක අරමුදලේ සහ බාර අරමුදලේ මුදල් ආණ්‌ඩුව මෙසේ ගන්නා විට ඊට විරෝධය පළකරමින් වැඩකරන ජනතාව උද්ඝෝෂණය කළ අවස්‌ථාවේදී ආණ්‌ඩුව රොෂාන් චානක තරුණයාව වෙඩි තබා ඝාතනය කළා. මේ තත්ත්වය යටතේ ආණ්‌ඩුව ජනතාවට කිසිසේත් සහන ලබා නොදෙන අතර ආණ්‌ඩුව සහන ලබා දෙන්නේ ඒ අයගේ හෙංචයියන් සුළුතරයකට පමණයි. ඒකාධිපති රාජපක්‍ෂ රෙජීමය ක්‍රියාකරන්නේ ජනතාව වෙනුවෙන් නොව තමා වෙනුවෙනුයි.

ආණ්‌ඩුව අයවැයෙන් වැඩකරන ජනතාවගේ ඉල්ලීම් සහ රාජ්‍ය සේවකයන්ට ලබා දුන් පොරොන්දු ඉටු නොකළහොත් ජනවාරි මාසයේ සිට මේ ආණ්‌ඩුව පන්නා දැමීමේ වැඩසටහන වහාම ආරම්භ කරනවා.

රාජ්‍ය සේවකයන්ට මෙසේ සලකන ආණ්‌ඩුවට මේ පළාත් සභා මැතිවරණයේදී ඡන්දය ලබා නොදෙන ලෙස රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා සිටිනවා සේම ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටීමට ක්‍රියා නොකරන ලෙස ද ඉල්ලා සිටිනවා. එසේ නම් ආණ්‌ඩුවට හොඳ පාඩමක්‌ ඉගැන්වීම සඳහා ඔබේ වටිනා ඡන්දය එක්‌සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් පාවිච්චි කරන්නැයි සමස්‌ත රාජ්‍ය සේවකයින්ගෙන් අප ඉල්ලා සිටිනවා. ස්‌වාධීන රාජ්‍ය සේවා කොමිසම, ස්‌වාධීන පොලිස්‌ කොමිසම සහ ස්‌වාධීන මැතිවරණ කොමසම වෙනුවෙන් සටන් කරමින් රාජ්‍ය සේවකයින්ගේ ස්‌වාධීනත්වයත්, අභිමානයත්. ගෞරවයත් වෙනුවෙන් ක්‍රියාකරන්නේ එක්‌සත් ජාතික පක්‍ෂයයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.