සෙන්ට්‍රල් ලැන්කැෂර් අනුබද්ධ
විශ්වවිද්‍යාල ශාඛා ව්‍යාපෘතියට වසර 15 ක බදු නිදහසක්‌


කුෂාන් සුබසිංහ, අජිත් අලහකෝන්

අවුරුදු පහළොවක බදු නිදහස්‌ කාලයක්‌ ලබා දෙමින් බ්‍රිතාන්‍යයේ "සෙන්ට්‍රල් ලැන්කෂර්" විශ්වවිද්‍යාලයට අනුබද්ධ විශ්වවිද්‍යාල ශාඛාවක්‌ මීරිගම ප්‍රදේශයේ පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

මේ සඳහා වන අති විශේෂ ගැසට්‌පත්‍රය ඊයේ (03 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

මීරිගම අපනයන සැකසුම් කලාපයේ පිහිටුවීමට යෝජිත මෙම විදේශ විශ්වවිද්‍යාල ව්‍යාපෘතිය සඳහා විශේෂ බදු සහන රැසක්‌ ලබාදී ඇති අතර විශ්වවිද්‍යාලය පිහිටුවූ පසු උපරිම වශයෙන් සේවකයින් විසි දෙනකු සඳහා වසර පහක කාලයක්‌ උපයන විට ගෙවීමේ බද්දෙන් ද නිදහස්‌ කර තිබේ.

මෙම ව්‍යාපෘතිය දේශීය ආදායම් පනත යටතේ වන සියලු බදු ගෙවීම්වලින් නිදහස්‌කර ඇති බවද ආයෝජන ප්‍රවර්ධන ඇමැති ලක්‌ෂ්මන් යාපා අබේවර්ධන මහතා විසින් නිකුත් කළ එම ගැසට්‌ නිවේදනයේ සඳහන් වේ.

විශ්වවිද්‍යාල ව්‍යාපෘතියට අදාළ ප්‍රාග්ධන වියදම් සඳහා ලබා ගන්නා ලද විදේශ ණයවලට ගෙවන පොලිය, සේවයේ නියුතු උපදේශකයන්ට ගෙවනලද තාක්‍ෂණික ගාස්‌තු, කළමනාකරණ ගාස්‌තු, දළ මෙහෙයුම් ආදායමෙන් සියයට තුනක්‌, පුරස්‌කාරක ගෙවීම් දළ මෙහෙයුම් ආදායමෙන් සියයට 1.5 ක්‌ සහ අලෙවිකරන ගෙවීම් දළ මෙහෙයුම් ආදායමෙන් සියයට 1.5 ක්‌ ද බද්දෙන් නිදහස්‌ කර තිබේ.

මීට අමතරව එකතු කළ අගය මත බදු (වැට්‌), වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බදු සහ රේගු බද්දෙන්ද මෙම විශ්වවිද්‍යාල ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නිදහස්‌ කර ඇත.

මෙම විශ්වවිද්‍යාලය 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ ප්‍රතිපාදනයන්ට යටත්ව වසර දහයක්‌ ඇතුළත අදියර හතරක්‌ යටතේ ඇරැඹීමට අවසර ලබාදී ඇත.

සෙන්ට්‍රල් ලැන්ක්‌ෂර් විශ්වවිද්‍යාල ශාඛාව සඳහා වන ගිවිසුමට එකී ව්‍යාපෘති සමාගම සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලය 2012 දෙසැම්බර් 13 දා අත්සන් කළ බවද අදාළ ගැසට්‌ නිවේදනයේ දැක්‌වේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.