භාරත ලක්‍ෂ්මන් ඝාතන නඩුව
අසෝක අතේ තුවක්‌කුවක්‌ තිබුණාදැයි දැක්‌කේ නැහැ
මම ඒ වෙලාවේ බැලුවේ
ලක්‍ෂ්මන් මහත්තයාගේ ආරක්‌ෂාව පමණයි

- ගයාන් චතුරංග අමරදේව සාක්‌ෂි දෙමින් කියයි

පියදාස රණසිංහ

සිද්ධිය වන අවස්‌ථාවේ ආරක්‌ෂක නිලධාරියෙක්‌ වන අශෝක යන අය අත වෙපන් එකක්‌ (ගිනි අවියක්‌) තිබුණාද කියා තමා නොදුටු බවත් ආරක්‌ෂක නිලධාරියෙක්‌ වශයෙන් ඔහුට පොලිසියෙන් පිස්‌තෝලයක්‌ ලබාදී ඇත්ද යන්න ගැන නොදන්නා බවත් මේ සිද්ධිය වන අවස්‌ථාවේ තමාගේ අවධානය යොමුවී තිබුණේ භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ආරක්‌ෂාව ගැන පමණක්‌ බවත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනයට අදාළ නඩුවේ සාක්‌ෂි විභාගය කොළඹ මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (03දා) කැඳවූ අවස්‌ථාවේ ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතාගේ හරස්‌ ප්‍රශ්නවලට පිළිතුරු දුන් පැමිණිල්ලේ සාක්‌ෂිකරුවකු වන භාරත මහතාගේ පෞද්ගලික කාර්යාලයේ කාර්යාල කාර්ය සහායක උඩුවේ කංකානමලාගේ ගයාන් චතුරංග අමරදේව මහතා ප්‍රකාශ කළේය.

කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ මෙම නඩුවට අදාළව කැඳවනු ලැබූ ලඝූ නොවන මූලික සාක්‌ෂි විභාගයේ හරස්‌ ප්‍රශ්න ඇසීම මෙදින සිදුවිය.

ඉකුත් 2011 වසරේ පළාත් පාලන මැතිවරණය පැවැති 2011/10/08 දින හෝ ඊට ආසන්න දිනක කොළොන්නාව, අංගොඩ, ගොතටුව, සේදවත්ත ඇතුළත ජනරාශිගතව සාපරාධී බලහත්කාරකම් කිරීම, කැරලි ගැසීම, පුද්ගලයන්ට තුවාල සිදු කිරීම, භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර, දමිත දර්ශන ජයතිලක, මොහොමඩ් අස්‌මි හකීම්, මනිවේල් කුමාරස්‌වාමි යන සිවු පුද්ගල ඝාතනයන් හා රාඡ්පුරගේ ගාමිණී යන අය වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම ඇතුළු චෝදනා 10 ක්‌ යටතේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව චෝදනා ගොනුකර ඇත.

මෙම නඩුවේ සැකකරුවන් වන්නේ අනුර කුමාරද මෙල්, එච්. කේ. චන්දන ජගත් කුමාර, එස්‌.පී. චමින්ද රවි ජයනාත්, ලංකා රසාංජන විඡේසූරිය, මාලක සමීර, විදානගමගේ අමිල සරත් බණ්‌ඩාර, සුරංග ප්‍රේමලාල්, සමන් කුමාර අබේවික්‍රම, ප්‍රියන්ත ජනක බණඩාර ගලබොඩ, ආර්. දුමින්ද සිල්වා, රෝහණ මාරසිංහ හා නාගොඩ ලියනආරච්චිගේ ශමින්ද යන පිරිසයි.

මෙහිදී 11 වන විත්තිකරු වන දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතාගේ හරස්‌ ප්‍රශ්නවලට පිළිතුරු දුන් සාක්‌ෂිකරු මෙසේ පැවැසීය.

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා( තමන් අධිකරණයට කිව්වා මේ වෙඩි තැබීමේ මුළු සිද්ධියටම ගියේ විනාඩි එකහමාරක්‌ පමණක්‌ බවයි.

සාක්‌ෂිකරු(- ඔව්.

ප්‍රශ්නය(- භාරත මහත්තයා තමාට කතා කරන්නේ ගයාන් කියලද? අමරදේව කියලද?

සාක්‌ෂිකරු(- ගයාන් කියලා.

ප්‍රශ්නය(- තමන් දන්නවද බෝලෙ කියන අය? එයා භාරත මහත්තයාගේ රියෑදුරු වශයෙන් කලක්‌ කටයුතු කළා නේද?

සාක්‌ෂිකරු(- ඔව්.

ප්‍රශ්නය(- එයාගෙ නම?

සාක්‌ෂිකරු(- සමන් ශාන්ත කුමාර

ප්‍රශ්නය(- බෝලෙ යන අයට පඩි ගෙව්වේ රජයෙන් කියා තමා දන්නවද?

සාක්‌ෂිකරු(- ඔව්.

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය(- භාරත මහත්තයට විශේෂ තනතුරක්‌ තිබුණද?

සාක්‌ෂිකරු(- වෘත්තීය සමිති කටයුතු පිළිබඳ අධ්‍යක්‍ෂ ජනරාල්.

ප්‍රශ්නය(-තමන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කිව්වා සිද්ධිය ඇතිවූ අවස්‌ථාවේ විනාඩි 05 ක වෙඩි වරුෂාවක්‌ ආව කියලා.

සාක්‌ෂිකරු(- සියල්ල විනාඩි 1 1/2 ක්‌ තුළයි සිදුවුණේ.

ප්‍රශ්නය(- එහෙනම් පොලිසියට දුන් ප්‍රකාශය වැරදිද? එදා තමන් ගමන් කළ ඩිපෙන්ඩර් රථයේ කී දෙනෙක්‌ ගමන් කළාද?

සාක්‌ෂිකරු(- මතක හැටියට හය දෙනෙක්‌ පමණ. වාහනය පැදෙව්වෙ මොහොමඩ් හසීම් යන අය.

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතාගේ හරස්‌ ප්‍රශ්නවලට වැඩිදුරටත් පිළිතුරු දුන් සාක්‌ෂිකරු සිද්ධිය වූ අවස්‌ථාවේ ඉදිරිපසින් පැමිණි ඩිෙµන්ඩර් වර්ගයේ වාහනයක්‌ භාරත මහතාගෙ වාහනයත් තමා පැමිණි වාහනයත් පසුකරගෙන පිටුපසට ගොස්‌ හරස්‌ කළ බවත් ප්‍රකාශ කළේය.

මෙහිදී ජනාධිපති නීතිඥ අනිල් සිල්වා, නීතිඥ අනුජ ප්‍රේමරත්න යන මහත්වරුන්ගේ හරස්‌ ප්‍රශ්නවලට ද සාක්‌ෂිකරු පිළිතුරු දෙන ලදී.

වැඩිදුර විභාගය සැප්තැම්බර් මස 17 දිනට කල් තැබිණි.

මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස්‌ අධිකාරි ශානි අබේසේකර, ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක මෙරිල්a රංජන් ළමාහේවා යන මහත්වරු සමඟ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ තුෂිත් මුදලිගේ යන මහත්වරු පෙනී සිටියහ.

නීතිඥ අනුජ ප්‍රේමරත්න, අනුර සෙනෙවිරත්න, මහේෂ් කුමාර, හංසදේව අමරසේකර, රසික සමරවික්‍රම, සංජය ගමගේ යන මහත්වරු හා ජනාධිපති නීතිඥවරුන් වන හේමන්ත වර්ණකුලසූරිය, ජයන්ත වීරසිංහ හා අනිල් සිල්වා යන මහත්වරු කරුණු දැක්‌වූහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.