ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට එල්ල වන පීඩනයට ඩයස්‌පෝරාව ප්‍රචාරය කරන වැරදි තොරතුරු බලපා තිබෙනවා
- ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ

සිරිමෙවන් කස්‌තුරිආරච්චි

ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට එල්ල වී තිබෙන පීඩනයට ඩයස්‌පෝරාව විසින් ප්‍රචාරය කරන වැරදි තොරතුරු බලපා තිබෙන බව ආරක්‌ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා පැවැසීය.

එල්.ටී.ටී.ඊ.ය පරාජය කිරීම නිසා මෙම තත්ත්වය හට ගෙන ඇති බවත් ඇතැම් මාධ්‍ය පවා ප්‍රජාතන්ත්‍රවාදී මාධ්‍ය නිදහස යොදාගෙන වැරදි ප්‍රචාර පතුරුවන බවද හෙතෙම පැවැසීය.

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් තෙවන වරටත් සංවිධානය කළ ආරක්‌ෂක සම්මන්ත්‍රණය -2013 ඊයේ (03 දා) කොළඹ ගලධාරි හෝටලයේදී ආරම්භ වූ අවස්‌ථාවට සහභාගි වෙමින් රාජපක්‌ෂ මහතා එසේ පැවැසීය.

පශ්චාත් යුද සමයෙන් පසු ශ්‍රි ලංකාව අභියෝගයන් හා කලාපීය ස්‌ථාවරත්වය යන තේමාව යටතේ මෙවර සම්මන්ත්‍රණය පැවැත්වෙන අතර තෙදිනක්‌ පුරා පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණය ඊයේ (03 දා) ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායකගේ පිළිගැනීමේ කතාවෙන් අනතුරුව ප්‍රධාන දෙසුම පවත්වමින් ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා මෙසේද පැවැසීය.

යුද්ධය අවසන් වූ පසු අද ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය හොඳින් ක්‍රියාත්මක වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී නිදහස පවතිනවා. මාධ්‍ය නිදහසද හොඳින් තිබෙනවා. එම නිදහස යොදාගෙන ඇතැම් මාධ්‍ය රජය වැරදි මාර්ගයක යන බව පෙන්වීමේ උත්සාහයක යෙදෙනවා.

ශ්‍රී ලංකාවට දේශසීමා නැහැ. ශ්‍රී ලංකාව වටා මුහුද පමණයි ඇත්තේ. නාවික වශයෙන් එය ආරක්‍ෂා කිරීමට අපි කැපවිය යුතුයි. කලාපයේ මුහුදු කොල්ලකරුවන්ගේ ක්‍රියා මැඬලීමේ වගකීමද අපට තිබෙනවා.

ශ්‍රී ලංකා චීන සබඳතාවය ගැන වැරදි මත හා අදහස්‌ පවතිනවා. ආසියාතික රටවල් දෙකක්‌ ලෙස රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික සබඳතා පමණයි ශ්‍රී ලංකාව හා චීනය අතර තිබෙන්නේ.

ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාද ඊයේ (03 දා) පෙරවරුවේ සැසිය ඇමතීය.

ආරක්‌ෂක මාණ්‌ඩලික ප්‍රධානි ජෙනරාල් ජගත් ජයසූරිය, නාවික හමුදාපති වයිස්‌ අද්මිරාල් ජයනාත් කොළඹගේ ඇතුළු ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීහු සහ විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා ඇතුළු දෙස්‌ විදෙස්‌ හමුදා සහ රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයෝ රැසක්‌ මෙම අවස්‌ථාවට සහභාගි වූහ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.