මානව හිමිකම් කොමිසම වැලිවේරියේ දී යළිත් පරීක්‌ෂණ අරඹයි

ලක්‌ෂ්මන් පයාගල විශේෂ වැලිවේරිය - චන්න විඡේනාම

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඊයේ (03 දා) වැලිවේරියේ නැදුන්ගමුවේදී ජල ගැටලුවට විසඳුමක්‌ බලාපොරොත්තුවෙන් පසුගිය මස සිදුකළ උද්ඝෝෂණයේදී සිදුවූ සිද්ධීන් පිළිබඳ පරීක්‌ෂණයක්‌ යළි ඇරඹීය. මානව හිමිකම් කොමිෂන් සභාව මීට පෙරද මෙම සිද්ධිය පිළිබඳ පුළුල් පරීක්‌ෂණ ආරම්භ කර තිබිණි.

එහි ප්‍රකාශකයකු පැවසුවේ මාධ්‍ය තුළින් අනාවරණය වූ තොරතුරු ඔස්‌සේ මෙම විමර්ශන කටයුතු අරඹා ඇති බවත් මේ වන විට කිසිදු පැමිණිල්ලක්‌ මානව හිමිකම් ආයතනයට නොලැබී ඇති බවත්ය. නමුත් ඊයේ එම සිද්ධියේදී තුවාල ලැබූ හා අගතියට පත් සාමාජිකයන් විස්‌සක්‌ පමණ දෙනකු සාක්‌ෂි දීමට පැමිණි ඇති හෙයින් ඔවුන්ගේ ප්‍රකාශ හා සාක්‌ෂි සටහන් කර ගැනීමටත්, සිද්ධියට අදාළ ප්‍රදේශයේ ස්‌ථාන කිහිපයක නිරීක්‌ෂණ කටයුතු සිදු කළේය.

මෙහිදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ හේමමාලී පෙරේරා මෙනවිය ප්‍රකාශ කළේ මෙම සිද්ධියෙන් අගතියට පත් විශාල පිරිසක්‌ සිටින මුත් ඔවුනට ඇති බිය සැක නිසා තාමත් හරි හැටි සාක්‌ෂි ලබාදීමට ඉදිරිපත් නොවෙන බවයි.

පරීක්‌ෂණ සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විධායක නියෝජිතයන් වන ජ්‍යෙෂ්ඨ විධායක නීතිඥ ලාල් වීරසිංහ , ඩබ්ලිව්. පී. නිහාල්, සුලනි ලියනගම, දිනේෂ් අරුණශ්‍රී, චන්ද්‍රdනි හේනාන්ද්‍රිවිතාරණ, අයන්ති ශිරෝමනී මහත්මිය යන මහත්ම මහත්මීහු සහභාගි වී සිටියහ.

සුනිල් පෙරේරා, අජන්තා පෙරේරා, නයනා ජයවීර, ශ්‍රීනිමා මනොඡ් ,රොහාන් පෙරේරා, චතුරි පීරිස්‌ යන අය මානව හිමිකම් පරීක්‌ෂණ සඳහා ප්‍රකාශ දීමට පැමිණ සිටියහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.