ගෑස්‌ සිලින්ඩර්වල නාමය වෙනස්‌ කර විකුණන ජාවාරමක්‌
ගබඩාව වටලයිá කළමනාකරු රිමාන්ඩ්

ධම්මික සල්වතුර, කෑගල්ල එම්. බී. පහළවත්ත

ප්‍රකට ගෑස්‌ සමාගමක ගෑස්‌ සිලින්ඩර් වෙනත් නාමයක ගෑස්‌ සිලින්ඩර් බවට වෙනස්‌කර විකිණීමට සූදානම් කර තබන ලද ප්‍රකට සමාගමේම මහනුවර කළමනාකාරවරයකු මේ මස 12 වැනිදා තෙක්‌ රක්‌ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල මහෙස්‌ත්‍රාත් චාන්දනී මීගොඩ මහත්මිය නියම කළාය.

මෙසේ රක්‌ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ ගෑස්‌ සමාගමක කළමනාකාරවරයකු වූ මහනුවර අම්පිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකි. ගෑස්‌ සිලින්ඩර් වෙනත් නමක ගෑස්‌ සිලින්ඩර් බවට වෙනස්‌කර ඇති බවට කෑගල්ල පොලිසියට ලැබුණු තොරතුරක්‌ මත කෑගල්ල පොලිසිය විසින් මාවනැල්ල අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක්‌ මත පරීක්‍ෂා කිරීමේදී මෙම ගබඩාව සොයා ගෙන ඇත.

ඒ අනුව සැකකරු කෑගල්ල පොලිසියේ වංචා විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මහනුවරදී අත්අඩංගුවට ගෙන බුද්ධිමය දේපළ වංචාව පනත යටතේ චෝදනා කොට මාවනැල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත. ඉන්පසුව රක්‌ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කරන ලදී.

කෑගල්ල කොට්‌ඨාස පොලිස්‌ අධිකාරි ප්‍රියලාල් දසනායක මහතාගේ උපදෙස්‌ පිට කෑගල්ල මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක කමල් පෙරේරා මහතාගේ අධීක්‍ෂණය අනුව කෑගල්ල පොලිසියේ වංචා විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක වික්‍රමරත්න මහතා ඇතුළු පොලිස්‌ නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.