ඩී.සී.ඩී. ගැන සැක කිරිපිsටි පැකට්‌ මිලියන 200 න් ඉවත් කර ඇත්තේ පැකට්‌ 252 යි - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි

ඒමන්ති මාරඹේ


ඩී.සී.ඩී. කෘෂි රසායනිකය ඇති හා ඇති බවට සැකකෙරෙන ආනයනික කිරිපිටි පැකට්‌ මිලියන 200 ක්‌ රටපුරා වෙළෙඳසල්වල තවමත් අලෙවි වෙමින් පැවැතියදී ආහාර පිළිබඳ නිසි බලධරයා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙතෙක්‌ වෙළෙඳපළින් ඉවත් කර ඇත්තේ එම කිරිපිටි පැකට්‌ 252 ක්‌ වැනි සුළු සංඛ්‍යාවකැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ඊයේ (03 වැනිදා) චෝදනා කළේය.


එසේ වෙළෙඳපළින් ඉවත් කර ඇති කිරිපිටි පැකට්‌ 252 ද ඩී.සී.ඩී. අඩංගු ඇති බව පරීක්‌ෂණවලින් තහවුරු වී තිබියදී විනාශ කිරීමට සෞඛ්‍ය බලධාරීන් විසින් පියවර ගෙන නැතැයි වෛද්‍ය පාදෙනිය කීවේය.


ළදරුවන්ට මවුකිරි ලබා දීම හා ළමුන් හා වැඩිහිටියන් හට දියර කිරි ලබා දීම ප්‍රවර්ධනය කරනු වෙනුවට සෞඛ්‍ය බලධාරීන් තවමත් කිසිදු පෝෂණ ගුණයක්‌ නොමැති කිරිපිටි භාවිතය ප්‍රචලිත කිරීමට කටයුතු කිරීම කනගාටුවට කරුණකැයි ඔහු අවධාරණය කළේය.


මෙරට සෞඛ්‍ය බලධාරින් විසින් මෙතෙක්‌ පිළි ගැනීමට මැලි වුවද ඩී.සී.ඩී. රසායනිකය දැනටමත් මනුෂ්‍යයාගේ ආහාර දාමයට එක්‌ වී අවසන් බව නවසීලන්ත රජය විසින්ම පිළිගෙන ඇති බව කී වෛද්‍ය පාදෙනිය රටේ ජනතාවට වස විස කැවීමට දිගින් දිගටම ක්‍රියා නොකර දේශීය කිරි නිෂ්පාදනය නැංවීම සඳහා දායක වන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා සිටින බව පැවැසීය.


ළදරුවකුට ඉපදී මුල් මාස 6 සම්පූර්ණ වන තෙක්‌ම ආහාර වශයෙන් අවශ්‍ය වනුයේ මවු කිරි පමණක්‌ බවත් මාස 6 සම්පූර්ණ වූ පසු අමතර ආහාර ද්‍රව්‍යයන්ද, වසර සම්පූර්ණ වන විට නිවසෙහි සෙසු වැඩිහිටියන් ගනු ලබන ආහාර පෙළකට හුරුකළ යුතු වුවද ළදරු කිරිපිටි ලබාදීම කිසිසේත් අවශ්‍ය නොවන බව ඔහු සඳහන් කළේය. මවුකිsරි දරුවකුට වයස අවුරුදු 2 සම්පූර්ණ වන තෙක්‌ ලබාදිය හැකි නිසා කිසිදු පිටිකිරි වර්ගයක්‌ දරුවන්ට ලබා දීම අනවශ්‍ය බවත් මෙම තත්ත්වය ජනතාව අතරට ගෙන යැමට සෞඛ්‍ය අමාත්‍යංශය තවමත් අපොහොසත් වී ඇති බවද හෙතෙම පැවැසීය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.