ඊයේ පාර්ලිමේන්තුව

සාම්පූර්හි විශේෂිත කර්මාන්තපුරයක්‌ ගොඩනැඟීමට අවු. 50 ක බදු පදනම යටතේ ත්‍රි.මලයෙන් ඉඩම් ලබාදුන්නා - ආයෝජන ප්‍රවර්ධන ඇමැති ලක්‌ෂ්මන් යාපා අබේවර්ධන


සොබා දහමේ විතරක්‌ නොවේ මිනිස්‌ සංහතියේ පැවැත්ම උදෙසාත් තීන්දු තීරණ ගත යුතුයි - ඇමැති ආචාර්ය සරත් අමුණුගම

ඔබතුමන්ලා නම්කරන අප නොදන්නා සමාගමක්‌ නමින් ගෙන්වන භාණ්‌ඩවලට දැවැන්ත බදු නිදහසක්‌ දෙන්නයි මේ සූදානම් වෙන්නේ- සුනිල් හඳුන්නෙත්ති (ජවිපෙ)

රටට වැඩක්‌ නැති ආයතන වෙනුවෙන් ගිනි පොලියට ණය ගැනීමෙන් රට අගාධයේ - සුජීව සේනසිංහ (එජාප)

කොටි සංවිධානය මිනීමරු සංවිධානයක් බව නවනීදන් පිල්ලේත්a පිළිගත්තා - නියෝජ්‍ය ඇමැති විනයාගමූර්ති මුරලිදරන්

ලූනු සහ අල අස්‌වැන්න නෙළන කාලයට ඒවා ගෙන්වීම සම්පූර්ණයෙන් වැළැක්‌විය යුතුයි - විනයාගමූර්ති (ද්‍රජාස)

කුෂාන් සුබසිංහ, අජිත් අලහකෝන්


සාම්පූර්හි විශේෂිත කර්මාන්ත කලාපයක්‌ සඳහා අවුරුදු පනහක බදු පදනම යටතේ ත්‍රිකුණාමලයේ වර්ග කිලෝ මීටර් 35 ක බිම් ප්‍රමාණයක්‌ ආයෝජන සමාගමක්‌ සඳහා ලබාදී තිබෙන බව ආයෝජන ප්‍රවර්ධන ඇමැති ලක්‌ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ (03 ධෘ) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.


ආනයන හා අපනයන පනත යටතේ නියෝග සහ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නිවේදන පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව කරමින් ඇමැතිවරයා එසේ කීය.


වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා විසින් සෙංකෝලය තැන්පත් කළ පසුව නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්‌කොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (3 දා) පස්‌වරු 1.00 ට රැස්‌විණි.
නිවේදන, වාර්තා, ලිපි ලේඛන සහ පෙත්සම් ඉදිරිපත් කළ පසුව වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් මන්ත්‍රීවරුන් අසා තිබූ ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු උත්තර දුන්හ.


ඉන්පසුව ආනයන හා අපනයන පනත යටතේ නියෝග හා ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නිවේදනය කිරීම ඇරැඹිනි.


විවාදය අරඹමින් ජාත්‍යන්තර මූල්‍ය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති මුදල් නියෝජ්‍ය ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා-


අද ලෝකයේම අවධානය යොමුව තිබෙන ප්‍රශ්නයක්‌ තමයි අප රැකගත යුතු ඕසෝන් ස්‌ථරය වෙනුවෙන් ගත යුතු පියවර. හිරුගෙන් නික්‌මෙන අහිතකර විකිරණවල බලය අඩු කිරීමට ස්‌වාභාවික ආරක්‍ෂක කලාපයක්‌ ලෙස ස්‌ථරයන් නිර්මාණය වී තිබෙනවා. ඒ තමයි ඕසෝන් ස්‌ථරය. යම් යම් විෂ වර්ග පෘථිවියෙන් නික්‌මීම නිසා මේ ඕසෝන් ස්‌ථරයේ බලයට හානි ඇතිවෙනවා. මේ නිසා පිළිකා ඇසේ සුද, ප්‍රතිශක්‌ති දුර්වලතා වැනි සෞඛය ගැටලු, වන විනාශය, ජලජ පැලෑටි විනාශය සිදුවෙනවා. සොබා දහමේ විතරක්‌ නොවේ මිනිස්‌ සංහතියේ පැවැත්ම උදෙසාත් තීන්දු තීරණ ගත යුතුයි.
ජාත්‍යන්තර ගිවිසුම් අනුව අප රටේ දේශීය නීති යටතේ අප රටට ආනයනය කරන තහනම් භාණ්‌ඩ ලැයිස්‌තුවට සීඑන්සී සහ හැලජන් නමැති භාණ්‌ඩ ඇතුළත් කෙරෙනවා.
(ජනක බණ්‌ඩාර මහතා මුලසුනට පැමිණේ)


පත්කළ මන්ත්‍රී (එජාප) ඉරාන් වික්‍රමරත්න මහතා(- වායුසමීකරණ හා ශීතකරණවලට භාවිත කරන ගෑස්‌ පිළිබඳව අද මේ පනතින් තහනම් කෙරෙනවා. ඊට අපේ ගැටලුවක්‌ නෑ. 2030, 2040 වෙද්දී තාක්‍ෂණ දියුණුව සමග අලුත් විද්‍යාත්මක ක්‍රම මගින් ශීතකරණ හා වායුසමීකරණවලට පහසුකම් ඒවි. වායුසමීකරණ, ශීතකරණ තිබුණත් අපේ දරුවෝ නැතිවෙන්න පුළුවන්.


බුද්ධශාසන නියෝජ්‍ය ඇමැති එම්. කේ. ඩී.එස්‌ ගුණවර්ධන මහතා(- යුද්ධයෙන් විනාශ වූ අපේ දිස්‌ත්‍රික්‌කය දියුණු වෙන තුරු අපේ ජනතාව බලාගෙන සිටියා. ත්‍රිකුණාමල වරාය ප්‍රදේශයේ නව ආයෝජන අවස්‌ථා ඇති කිරීම අවශ්‍යයි. සාම්පූර් විදුලි බලාගාරය යටතේ විශාල ව්‍යාපෘති ඇති කිරීමට හැකියාව ලැබෙනවා. රැකියා අවස්‌ථා විශාල ප්‍රමාණයක්‌ මේ මගින් උදාවෙනවා.


යාපනය දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී විනයාගමූර්ති මහතා (ද්‍රජාස)(- ජී.එස්‌.පී. සහනය නැවත ලබා ගැනීම සඳහා කටයුතු කරන මෙන් රජයෙන් ඉල්ලා සිටිනවා. අනවශ්‍ය ආනයන සම්පූර්ණයෙන් නවතා දමන්න. ලූනු සහ අල අස්‌වැන්න නෙළන කාලයට ඒවා ගෙන්වීම් සම්පූර්ණයෙන් වැළැක්‌විය යුතුයි.


රත්නපුර දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී ජානක වක්‌කුඹුර මහතා (එජනිස)(- ඕසෝන් ස්‌ථරයට හානි සිදුවීම නිසා ජන ජීවිතවලට විශාල ප්‍රශ්න ඇති වෙලා. කාර්මික දියුණුවත් සමග ඇති වූ මේ වෙනසින් පරිසරය ආරක්‍ෂා කර ගත යුතුයි. කුකුළේ ගඟ ආසන්න කැලය විපක්‍ෂයේ පිරිසක්‌ විසින් විනාශ කරනවා.


අජිත් පී. පෙරේරා මහතා මුලසුනට පැමිණියේය.


කොළඹ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා (ප්‍රජාස)(- රුපියල් බිලියන 520 ක්‌ ආයෝජනය කරන්න සූදානම්වෙලා තිබෙන අවස්‌ථාවක මේ පනත් ගැන මීට වඩා හැඳින්වීමක්‌ අවශ්‍යයි. විවාදයේ කරුණු අනුව ඇමැතිවරයා පිළිතුරු දෙන බව පැවසීමත් අපට ගැටලුවක්‌. ඔබතුමන්ලා නම් කරන අප නොදන්නා සමාගමක්‌ නමින් ගෙන්වන භාණ්‌ඩවලට දැවැන්ත බදු නිදහසක්‌ දෙන්නයි මේ සූදානම් වෙන්නේ. ජාතික ඉතිරි කිරීමේ බැංකුව හරහා ගන්න යන ණය ගැනීමට පෙර බැංකුව පොදු ව්‍යාපාර කාරක සභාව හමුවට ගෙන්විය යුතුයි. තැන්පත්කරුවන් වෙනුවෙන් ඔවුන්ගේ වගකීම පෙන්විය යුතුයි.


නැවත පදිංචිකිරීමේ නියෝජ්‍ය ඇමැති විනයාගමූර්ති මුරලිදරන් මහතා(- නවනීදන් පිල්ලේ මහත්මිය නැගෙනහිර සංවර්ධනය එයාගේ ඇස්‌ වලින් දැකගත්තා. කොටි සංවිධානය මිනීමරු සංවිධානයක්‌ බව එයා පිළිගත්තා. බදු සහන ලබා දුන්නොත් ආයෝජකයන් අපේ රටට එන්න කැමතියි. මේ ආයෝජන වලින් රැකියා අවස්‌ථා වැඩි වැඩියෙන් උදාවෙනවා.


කොළඹ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා (එජාප)(- යුද්ධය අවසන් වූ පසු රටේ විශාල සංවර්ධනයක්‌ ඇති වනු ඇතැයි අපි කල්පනා කළා. ජනතාවට සහන ලැබෙනු ඇතැයි අපි උපකල්පනය කළා. ඒත් ඒ කිසිවක්‌ සිද්ධ වුණේ නැහැ. සියයට 7.2 කට ආණ්‌ඩුව ඩොලර් පොලියට ගන්නවා. රුපියල් වලින් ඒ ණය පොලිය සියයට 20 ඉක්‌මවනවා. අපනයන පහළ යනව. ආනයන ඉහළ යනවා. මෙමගින් සිදුවෙන්නේ දිගින් දිගටම ආනයන අපනයන හිඟය ඉහළ යැමයි. රටට වැඩක්‌ නැති ආයතන වෙනුවෙන් ගිනි පොලියට ණය ගැනීම රටේ අගාධයට හේතුවී තිබෙනවා. මේ රට චීනයට උකස්‌ වෙන කාලය වැඩි ඈතක නැහැ. චීනය විසින් අප්‍රිකානු රටවල්ද මෙසේ පාලනයකට ලක්‌ කරනවා. හම්බන්තොට වරායට, මත්තල ගුවන් තොටුපළට වැය කළ මුදල අපිට කවදාවත් ලබාගන්න ලැබෙන්නේ නැහැ.


පත්කළ මන්ත්‍රී ඒ. එච්. එම්. අස්‌වර් මහතා (එජනිස)(- නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ධුරයට නන්ද මල්ලවආරච්චි මහතා පත්කර තිබීම සතුටට කරුණක්‌. යුද්ධයේදී රට දැය වෙනුවෙන් එතුමා සෑහෙන කැපවීමක්‌ කළා. උතුරු පළාතේ සිදු වන සංවර්ධනය විග්නේෂ්වරම් මහතා දකින්නේ ජාතිවාදී කෝණයකිනුයි. සිංහල ජනතාවට උතුරට යන්න විතරක්‌ නොවේ උතුරේ රේල් පාරවල් හදන්නේ. ඒ සංවර්ධනය රටේ හැම කොට්‌ඨාසයකටම උරුම වෙනවා. යුද්ධ කාලයේදී එල්ටීටීඊය විනාශ කළ දුම්රිය මාර්ග කුමාර වෙල්ගම මහතා නවීකරණය කළා. නව මාවත් ඇති කළා. ඒ සේවය තවදුරටත් එතුමා ව්‍යාප්ත කරනවා.


කොළඹ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී රවී කරුණානායක මහතා (එජාප)(- රටට ආදරය කරන නායකයන්ගේ යුතුකම වතුර ඉල්ලන ජනතාවට වෙඩි තියන එක නොවේ.
නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්‌කොඩි මහතා මුලසුනට පැමිණියේය.

කරුණානායක මහතා(- මේ ආණ්‌ඩුව පෞද්ගලීකරණයට අත වනනවා. රටට අලුතින් ආයෝජකයන් ගෙන්වනවා වෙනුවට රටේ සිටින ආයෝජකයින් ආරක්‍ෂා කර ගැනීම ඇඟට ගුණයි. රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීම ජනතාවගේ බත් පතට සෘජුවම බලපානවා. ආයෝජකයන්ටත් මෙය ප්‍රශ්නයක්‌. රටේ ආර්ථිකය අවදානම් තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ඒකාධිපති පාලනය ආර්ථික අංශයටත් ගෙනාවොත් රට විනාශ වෙන්න පුළුවන්.


රත්නපුර දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී වයි. ජී. පද්මසිරි මහතා (එජනිස)(- අධි පරිභෝජන මානසිකත්වයෙන් ජනතාව මුදා ගැනීමට ආකල්පමය වෙනසක්‌ කළ යුතුයි. පාසල්වල පරිසර සංවිධාන ඇති කරමින් රටේ ජනතාව හා බාල පරපුර දැනුවත් කිරීමට ගෙන ඇති උත්සාහයන් අගය කරමින් අද මේ නියෝගවලට සහාය පළ කරනවා.


ගම්පහ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී (එජාප) අජිත් මාන්නප්පෙරුම මහතා(- කර්මාන්ත ශාලා ආරම්භ කරන බව ආණ්‌ඩුව කීවාම අපිට භීතිය ඇතිවෙනවා. ආණ්‌ඩුව උත්සාහ කරන්නේ ජනතාව රැකගන්න නොවේ. කර්මාන්ත ආරක්‍ෂා කරන්නයි. සාම්පූර්හි කර්මාන්ත කලාපයක්‌ ඇති කරද්දී ඒවා ආරක්‍ෂා කරගන්න ආණ්‌ඩුව ක්‌ලේමෝ බෝම්බ ගසාවිද දන්නෑ. ලොකු ලොකු වාසි එද්දී ලෝකෙන් එපා වූ කර්මාන්ත ශාලා ලංකාවට ගෙන එනවා. භීෂණය නැති කළ හමුදාවට සහ ජල ප්‍රශ්නය විස» ජනපතිට ස්‌තුතියි කියා පෝස්‌ටර් ගහලා. සම්පූර්ණ බොරු... ජල ප්‍රශ්නය විසඳලාත් නෑ.


කළුතර දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා (එජාප)(- රටේ පොලිසිය සිවිල් පාලනයක්‌ බවට පත්කරන්න කියා එල්. එල්. ආර්. සී. වාර්තාව නිර්දේශ කරනවා. ඒත් ආණ්‌ඩුව වෙනම අමාත්‍යාංශයක්‌ පත්කර පොලිසිය එන්. මල්ලවාරච්චි යටතට පත් කරනවා. ජනතාව රැවටෙන්නෙ නෑ. මේ රට ආඥදායකත්වය කරා ගමන් කරනවා. පිල්ලේ මහත්මිය කියන්න කලින් අපි ඒ ගැන කිව්වා.

ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ඒ. එල්. එම්. හිස්‌බුල්ලා මහතා(- ත්‍රිකුණාමල සාම්පූර් ප්‍රදේශයේ විවිධ භෞතික සම්පත් සඳහා ව්‍යාපෘති ඉදිකිරීම නිසා පස්‌ වසරක්‌ තුළ සංවර්ධනය වීමට නියමිතයි. එනිසා කඩිනමින් මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට හැකිවෙනවා. රැකියා අවස්‌ථා ලැබෙනවා.


ආයෝජන ප්‍රවර්ධන ඇමැති ලක්‌ෂ්මන් යාපා අබේවර්ධන මහතා(-


විශාල ආයෝජන කලාප පිහිටුවීමට රජයකට තනියම බෑ. රජය සාම්පූර් මූලික කර ගනිමින් සිද්ධ කරන්නේ උතුරු නැගෙනහිර සංවර්ධනයේ ප්‍රධාන සන්ධිස්‌ථානය ඇති කරන්නයි. 2013 දී රජයේ සෘජු විදේශ ආයෝජන ඉලක්‌කය ඇමරිකානු ඩොලර් බිලියන 2 යි. සාම්පූර් ආයෝජන කලාපය තුළින් ඇමරිකානු ඩොලර් බිලියන 4 ක්‌ අපේක්‍ෂා කරනවා. සෘජු රැකියා දස දහසක්‌ හා වක්‍ර රැකියා රැසක්‌ ඇතිවීම තුළින් උතුරු නැගෙනහිර හා උතුරුමැද රැකියා විරහිත තරුණ පිරිසට ආර්ථිකයේ කොටස්‌කරුවන් වීමට මහඟු අවස්‌ථාවක්‌ ලැබෙනවා. ව්‍යාපෘතියේ ශක්‍යතා වාර්තා සැකසීමට ගේට්‌ටේ ඉන්ඩස්‌ටි්‍රස්‌ සමාගම මේ වන විටත් ඇමරිකානු ඩොලර් මිලියන දහයක්‌ ආයෝජනය කර තිබෙනවා. ගැඹුරු මුහුදේ ජැටිය ඉදිකිරීමයි මෙහි මූලික ඉදිකිරීම. එය නැගෙනහිරට පමණක්‌ නොව සමස්‌ත රටටම ප්‍රතිලාභ අත්වන කරුණක්‌. විශාල ප්‍රමාණයේ නැව් පැමිණිය හැකි ලොව උසස්‌ම ස්‌වාභාවික වරාය බවට ත්‍රිකුණාමලය වරාය පත්වෙනවා. සාම්පූර් කර්මාන්ත කලාපය සඳහා වර්ග කිලෝ මීටර් 35 ක බිම් ප්‍රමාණයක්‌ අවුරුදු පනහක බදු පදනම යටතේ ලබාදී තිබෙනවා. ඒ ඇමරිකානු ඩොලර් බිලියන 4 ක ආයෝජනය සාම්පූර්වල සිදුකරනවා. මේ සමාගම ඔස්‌ටේ්‍රලියාවේ මිචෙල් සමූහ ව්‍යාපාරය, මිචෙල් කොන්සෝඩියම් සහ සැල්ඩා කෝපරේෂන් සමග ශ්‍රී ලංකාවේ ඇසට්‌ හෝල්ඩින් සමාගම එක්‌ව ස්‌ථාපිත ශ්‍රී ලංකා ගේට්‌ටේ ඉන්ඩස්‌ටි්‍රස්‌ විසින් මේ සාම්පූර් ව්‍යාපෘතිය සිදුකරනවා. ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ ඇති බදු සහන මේ ව්‍යාපෘතියට ලබා දෙනවා. ආයෝජනය ශක්‌තිමත් නම් කාගේ සමාගමක්‌ වුණත් කමක්‌ නෑ. අපේ නියමයන් යටතට වැටෙනවා නම් ආයෝජන කටයුතු සඳහා ඉඩ ලබාදෙනවා.
පාර්ලිමේන්තුව අද (4 වනදා) ප.ව. 1.00 ට යළි රැස්‌වේ.



මාධ්‍යවේදිනී මන්දනා ස්‌මයිල් සිද්ධිය - කොල්ලකරුවන් සෙව්වේ රන් බඩුද? ක්‍රිෂ් ගනුදෙනුවේ ලිපිගොනුවද?- විපක්‍ෂ නායක


මාධ්‍යවේදිනී මන්දනා ස්‌මයිල්ගේ නිවසට කොල්ලකරුවන් ආවේ රන් කොල්ලයටද නැතිනම් ක්‍රිෂ් ගනුදෙනුවේ ලිපිගොනු කොල්ලකෑමට දැයි විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (03 දා) පාර්ලිමේන්තුවේදී ආණ්‌ඩු පක්‍ෂයෙන් විමසා සිටියේය. ස්‌ථාවර නියෝග 23/2 යටතේ විශේෂ ප්‍රකාශයක්‌ කරමින් විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ කීවේය.


කොල්ලකරුවන්ගේ දුරකථන ඇමතුම් ඔස්‌සේ විමර්ශන සිදු කරනවා- ඇමැති දිනේෂ් ගුණවර්ධන


මන්දනා ස්‌මයිල් මහත්මියගේ නිවස තුළ ගතකළ කාලය තුළදී කොල්ලකරුවන් විසින් ලබාගත් දුරකථන ඇමතුම් ඔස්‌සේ විමර්ශන කටයුතු සිදු කරන බව ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (03 දා) පාර්ලිමේන්තුවේදී පැවසුවේය. විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ස්‌ථාවර නියෝග 23/2 යටතේ ආණ්‌ඩුවෙන් කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු දෙමින් දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා එසේ කීය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.