මධ්‍යම කඳුකරයේ අක්‌කර 10000 ක්‌
පාංශු සංරක්‍ෂණය කෙරේ
පාංශු ඛාදනය ජාතික ආර්ථිකයට වසරකදී 1% ක බලපෑමක්‌ කරනවා

මාතලේ විශේෂ නිමල් ගුණතිලක

පාංශු ඛාදනය ඉහළ මට්‌ටමක පවතින මධ්‍යම කඳුකරයේ අක්‌කර දස දහසක්‌ පාංශු සංරක්‌ෂණය සඳහා තෝරාගෙන ඇති බව ශ්‍රී ලංකා හදබිම අධිකාරිය කියයි.

මහනුවර, මාතලේ, නුවරඑළිය, බදුල්ල, කළුතර, මාතර දිස්‌ත්‍රික්‌කවල පාංශු ඛාදනය ඉහළ මට්‌ටමක පවතින ඉඩම් මේ සඳහා තෝරාගත් බවත් ගොවි පවුල් 7500 ක්‌ මේ සඳහා තෝරාගෙන සිටින බවත් ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති නන්දසේන හේරත් මහතා පැවැසීය.

පාංශු ඛාදනය මෙරට ජාතික ආර්ථිකයට වසරකදී සියයට එකක බලපෑමක්‌ කරන බවත් ඔහු කීවේය. පාංශු ඛාදනය වැළැක්‌වීම සහ එම ඉඩම්වල පාංශු සංරක්‌ෂණය සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය 2013 වසර සඳහා රුපියල් මිලියන 70 ක්‌ වෙන් කර ඇත.

ඉකුත් වසර 30 තුළ මෙරට පාංශු ඛාදනය දරුණු ලෙස සිදුවූ අක්‌කර දෙලක්‌ෂයක්‌ සංරක්‌ෂණය කළ බවත් පාංශු සංරක්‌ෂණය සඳහා තෝරා ගන්නා ගොවි පවුලකට රුපියල් 3500 ක දිරි දීමනාවක්‌ ලබාදීමටද පියවර ගෙන ඇති බවත් හදබිම අධිකාරිය කියයි.

ශ්‍රී ලංකාවේ පාංශු සංරක්‌ෂණ පනත ක්‍රියාත්මක කිරීමේ බලතල ශ්‍රී ලංකා හදබිම අධිකාරියට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පවරාදී ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.