නැටුම් උගන්වන මුවාවෙන්
දැරියක රවටා මහනුවරට ගෙන ගොස්‌
අතවර කළ සැකකරු අත්අඩංගුවට

සැකකරු විවාහ හතරකුත් කරගෙන ඉඳලා

සිරිපුර - පී. වාසලා

දෙහිඅත්තකණ්‌ඩිය බඹරවාන ප්‍රදේශයේ නැටුම් විෂය දරුවනට උගන්වන මුවාවෙන් බාල වයස්‌කාර දැරියක්‌ රවටා මහනුවර ප්‍රදේශයට ගොස්‌ ස්‌ථාන කීපයකදී දින ගණනාවක්‌ දැරිය සඟවා අතවරයට ලක්‌ කොට පළාගොස්‌ සිටි සැකකරු පොලිසියට කොටුවෙයි.

මෙම පුද්ගලයා අත්අඩංගුවට ගන්නා අවස්‌ථාවේ චීවරධාරියකු ලෙස වෙස්‌වලාගෙන සිටි බවත් පොලිසියට ලැබුණු තොරතුරක්‌ මත අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් පොලිස්‌ ආරංචි මාර්ග පවසති.

ඉකුත් 2 දා අතවරයට ලක්‌වූ දැරියගේ මව විසින් දෙහිඅත්තකණ්‌ඩිය පොලිසියට කරන ලද පැමිණිල්ලක්‌ මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීම මත මීට පෙරද විවාහ හතරක්‌ සිදු කරගෙන සිටි බවද ඔවුන්ට දාව දරුවන් සිටින බවටද ප්‍රකාශ කර ඇත.

සැකකරු දිවයිනේ ප්‍රදේශ ගණනාවක විවිධ නම් වලින් පෙනී සිටි බවට තොරතුරු අනාවරණය කර ගෙන ඇත. සැකකරු චීවරධාරියකු ලෙස ප්‍රදේශයේ සැරිසරා ඇති අතර මධුරංග, ආරියපාල මාස්‌ටර් නාට්‍ය නාමල්, විරිඳු ආරි වශයෙන්ද විවිධ ස්‌ථානවල රැඳෙමින් විවිධ අක්‍රමිකතා සිදු කරන්නට ඇතැයිද ඒ පිළිබඳ පොලිස්‌ පරීක්‍ෂණ දිගටම සිදු කරන බවද පොලිසිය පවසති.

සැකකරු 2 දින දෙහිඅත්තකණ්‌ඩිය මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පොලිසිය ඉදිරිපත් කරන ලද තොරතුරු සැලකිල්ලට ගනිමින් ලබන 12 දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගතකර තැබීමට දෙහිඅත්තකණ්‌ඩිය මහෙස්‌ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා නියෝග කෙරුණි.

දෙහිඅත්තකණ්‌ඩිය පොලිසියේ ස්‌ථානාධිපති ජයශාන්ත සිල්වා, උ. පො. ප. රොහාන් හේරත්, පො. කො. 36741 පො. කො. 43953 කුඹුරේගම, පො. කො. 44312 රත්නායක, පො.කො. ජයතිලක, කා. පො. සැ. චන්ද්‍රිකා, යන නිලධාරීන් ගේ මෙහෙයුම මත පො. සැ. 2236 විමලසිරි මහතා විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.