ලක්‍ෂ 35ක රථයට ගිනි තබා
ඉතාලි පනින්න හැදූ පුද්ගලයා අල්ලයි


මීගමුව සමූහ- විමල් කීර්ති



රුපියල් ලක්‍ෂ 35 ක්‌ වටිනා නවීන මෝටර් රථයක්‌ගිනි තබා විනාශ කළ බව කියන සැකකරුවකු මීගමුව පොලිසියෙන් බේරීම සඳහා ඉතාලිය බලා පැන යැමට තැත් කරද්දී මීගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ උප පොලිස්‌ පරීක්‍ෂක ඒ. බී. පුන්‍යසේන මහතා ඇතුළු පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසින් කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ඉතාලියේ රැකියාවක්‌ කරන ජනිත් යන නමින් හැඳින්වෙන අයෙකි. මොහු මීගමුව ඒත්තුකාල සංචාරක පුරයේ පදිංචිකරුවෙකි. පසුගියදා (1 වැනිදා) පුද්ගලයකු මෝටර් රථයක හැපී තුවාල ලැබීමෙන් පසු එම මෝටර් රථය සිද්ධිය වූ ඒත්තුකාල ජූඩ් පෙදෙසේදී ගිනි තබා අළු කර ඇත. මෙම මෝටර් රථ හිමියා මීගමුව රුක්‌මණී දේවි මාවතේ පදිංචි මුද්‍රණ කටයුතුවල නිරතව සිටින ව්‍යාපාරිකයෙකි. රිය අනතුරට මුහුණදුන් අය සුළු තුවාල ලබා ඇත.

මෙම ප්‍රචණ්‌ඩ ක්‍රියාව සම්බන්ධයෙන් මීට පෙර එම ගිනි තැබීම මෙහෙයවූ බව කියන සංචාරක කටයුතු පිළිබඳ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගෙන ඇත. ඉතාලි බලා පලා යැමට තැත් කළ සැකකරු ද එම ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට හඳුනාගෙන ඇත. මීගමුව පොලිසියේ උප පොලිස්‌ පරීක්‍ෂක ඒ. බී. පුන්‍යසේන, සැරයන්වරුන් වන (51687) නිශ්මි, (22181) සෙනවිරත්න සහ (22191) සේනාරත්න යන නිලධාරීහු වැටලීමට සහභාගි වූහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.