පුස්‌ වෙඩිල්ල

අසෝක ගුණතිලක - නේපාලයේ කත්මන්දු නුවර සිට



දකුණු ආසියානු පාපන්දු ශූරතා 2013 තරගාවලියේ කාල බෝම්බයක්‌ වනු ඇතැයි අනුමාන කරන ලද ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්‌ඩායම පෙරේදා (02 දා) කත්මන්දුවේ දසරාත් ක්‍රීඩාංගණයේදී ගෝල 10-0 වශයෙන් මාලදිවයින ඉදිරියේ පුස්‌ වෙඩිල්ලක්‌ බවට පත්විය.

දකුණු ආසියානු පාපන්දු ඉතිහාසයේ මෙතෙක්‌ සහභාගි වූ තරග අතරින් අතිෂය දුර්වල තරග විලාශයක්‌ පෙන්නුම් කළ ශ්‍රී ලංකාව තරගයේ සිව්වැනි මිනිත්තුවේදී සිය පරාජයේ දොරටු විවර කර ගන්නා ලද්දේ ප්‍රතිවාදී අසදුල්ලා අරීදුල්ලාට කිසිදු අභියෝගයක්‌ එල්ල නොකරමිනි. (1-0)

මාලදිවයින් කණ්‌ඩායම සමග දකුණු ආසියානු මට්‌ටමින් පැවැති හයවැනි තරගය එය වන අතර, මාලදිවයින් කණ්‌ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව මෙතෙක්‌ වාර්තා කොට තිබූ ගෝල 5-1 (1998) වාර්තාවද බිඳ වැටිණ. තරගයේ දෙවැනි භාගයේ 2, 10, 24, 40 සහ 43 මිනිත්තුවලදී ප්‍රතිවාදීන් එල්ල කළ තියුණු ප්‍රහාර අයාලේ නොයන්නට පරාජිත ගෝල සංඛ්‍යාව 15 ක්‌ වීමට අවකාශ තිබිණ.

මාලදිවයින් කණ්‌ඩායම විසින් වාර්තා කරන ලද මෙම ජයග්‍රහණය තරගාවලි ඉතිහාසයේ නව වාර්තාවක්‌ වන අතර එයට ගෝල 6 කින් දායක වූ නායක අල් අස්‌µdක්‌ එකම තරගයකදී ගෝල් 6 ක්‌ වාර්තා කළ පළමු ක්‍රීඩකයා වශයෙන්ද දැන් ඉතිහාස ගතව සිටියි.

ශ්‍රී ලංකා කණ්‌ඩායම තරගයේ 20 වැනි මිනිත්තුවේදී මෙම ඉතිහාසගත පරාජයේ මං සන්ධියට අවතීර්ණ විය. කිසිදු වෘත්තීමය තත්ත්වයක්‌ පෙන්නුම් නොකළ ඉතා දුර්වල තරග රටාවක නියෑලූණු එම මිනිත්තු 90 වේ 20 වැනි මිනිත්තුවේදී තනිව පන්දුව පාලනය කරමින් ශ්‍රී ලංකා දැල වෙත පැමිණෙමින් සිටි ප්‍රතිවාදී නායක අලි අස්‌µdක්‌ සාපරාධී ලෙස බිම ඇද දැමීම මත, දැළ රැකි මොහොමඩ් ඉම්රාන් 'රෙඩ් කාඩ්' නෙරපීමට ලක්‌විය. ඒ වන විට, ආරක්‍ෂක ක්‍රීඩක වරකාගොඩද පාදයේ ආබාධයකට ලක්‌ව පිටියෙන් පිටවී සිටි අතර, ඉන් තවත් මිනිත්තුවක්‌ අවසානයේ අනෙක්‌ ආරක්‍ෂක ක්‍රීඩක ළහිරු තාරක 'යෙලෝ කාඩ්' අවවාද ලබා සිටියේය.

වරකාගොඩට ඉදිරි තරගවලට සහභාගිවිය නොහැකි බව කණ්‌ඩායම් කළමනාකාර මොහොමඩ් රමීස්‌ මහතා පවසයි.

පිටියෙන් පිටමං කළ ඉම්රාන් වෙනුවට දෙවැනි දැළ රකින්නා වූ ධනුෂ්ක පරණවිතාන කැඳවන ලදී. ඔහුට එම අවස්‌ථාව ලබාදීම සඳහා දකුණු ආන්තික ක්‍රීඩක දේවින්ද බණ්‌ඩාර තරගයෙන් ඉවත් කිරීමට නායකත්වය තීරණය කරන ලදී.

'රෙඩ් කාඩ්' නෙරැපීම ලද මොහොමඩ් ඉම්රාන්ට තරග තහනමක්‌ පැනවෙන අතර, එම තහනම බලපානු ලබන තරග සංඛ්‍යාව කොපමණදැයි ඊයේ පස්‌වරුව වන විටද බලධාරීහු තීරණය කොට නොතිබිණ.

පාපන්දු නීතියට අනුව, පන්දුව තනිවම පාලනය කරමින් දැල ආක්‍රමණය සැරසෙන්නෙකුට ස්‌පර්ශ කිරීමද ඉඳුරා තහනම් වේ. දැල රකින්නාට එහිදී ලැබෙන එකම අවස්‌ථාව පන්දුව ආක්‍රමණය කිරීම පමණක්‌ම වන අතර ප්‍රතිවාදී ක්‍රීඩකයා ස්‌පර්ශ කිරීම පවා තහනම් වේ.

මෙම සිද්ධියෙන් පසු දැල පුහුණුකරු ඩී. චන්ද්‍රසිරිට සිය අදහස්‌ දක්‌වා ඇති මොහොමඩ් ඉම්රාන්, පිටියේ තෙත බරිත තත්ත්වය හේතුවෙන් තමා ලිසසා වැටීමේදී අලි අස්‌µdක්‌ගේ ඇඟේ හැප්පුණු බව පවසා ඇත.

තරගය පිළිබඳ සිය දැඩි කනස්‌සල්ල පළ කළ පුහුණුකරු ක්‌ලෝඩියෝ රොබර්ටො, කණ්‌ඩායමේ මෙම ළදරු තරග විලාශය පිළිබඳව කම්පා වන බව අවධාරණය කළේය. තමා විසින් උගන්වන ලද කිසිදු ශිල්පයක්‌ කණ්‌ඩායම ක්‍රියාත්මක නොකළ බවට චෝදනා කළ හෙතෙම, පරාජයේ පූර්ණ වගකීම තමා භාරගන්නා බවද පැවැසීය. අනපේක්‍ෂිත අයුරින් තරග ආරම්භයේදීම ගෝලයක්‌ පරාජය වීම සහ දැළ රකින්නාට පිටියෙන් පිටමං වීමට සිදුවීමත් පරාජයට හේතු වූ බව පැවැසූ ක්‌ලෝඩියෝ මෙම ලැඡ්ජාවට ඉදිරි තරග දෙකේදී පිළිතුරු සපයන බවටද ප්‍රතිඥා දුන්නේය.

තරගය පිළිබඳ අදහස්‌ දැක්‌වූ මාලදිවයින් පුහුණුකරු බුබානි ඉස්‌ටාවනීලා, ශ්‍රී ලංකා කණ්‌ඩායම සිය තායිලන්ත සංචාරයේදී පුහුණු වූ අයුරු තමා දුටු බවත්, එමගින් ඔවුන් දක්‌වන ලද දස්‌කම් අධ්‍යයනය කොට තම තරග රටාව වෙනස්‌ කළ බවත් පැවැසීය.

මේ අතර, පාපන්දු සභාපති රංජිත් රුද්‍රිගු මහතා අදහස්‌ දක්‌වමින්, පරාජය පිළිබඳ තමා දැඩි ලෙස කනස්‌සල්ලට පත්ව සිටින බව පැවැසීය. 'කණ්‌ඩායම් බරපතළ විදියට පරදිනවා. එම දැඩි පරාජ ඔස්‌සේ ජයග්‍රාහී මාවතට එන්නත් පුලූවන්. කෙසේ වෙතත් මේ සියල්ල සොයාබලන්න, සම්මේලනයේ තාක්‍ෂණ අධ්‍යක්‍ෂ (රුමී පකීර්අලී) වහාම නේපාලනයට යවනවා'යි ද හෙතෙම පැවැසීය.

ශ්‍රී ලංකා කණ්‌ඩායමේ දෙවැනි තරගය භූටානය සමග අද පැවැත්වේ. එය භූටානයේ දකුණු ආසියානු තරගාවලියේ දහනවවැනි තරගය වන අතර ශ්‍රී ලංකාව සමග එම මට්‌ටමේ සිව්වැනි තරගය වේ. පැවැති තරග තුනේදී (2008, 2009 සහ 2011) ශ්‍රී ලංකාව පිළිවෙළින් ගෝල 2-0, 3-0 සහ 7-0 වශයෙන් ජය ගන්නා ලදී.

භූටානය තවදුරටත් ළදරු කණ්‌ඩායමක්‌ නොවීම විශේෂ සිද්ධියකි. මෙවර තරගාවලියේ ශූරතාව දිනනු ඇතැයි අනුමාන කරන ප්‍රබල ඇµaගනිස්‌තානයට ප්‍රබල තර්ජනයක්‌ එල්ල කළ භූටානය එම තරගයේදී (2 දා) ගෝල 3-0 ක්‌ වශයෙන් පරාජය වීම එක්‌තරා ජයග්‍රහණයක්‌ ලෙස සලකනු ලබයි.

තරගාවලියේ 'බී' කාණ්‌ඩයේ වත්මන් තත්ත්වය අනුව එක තරගය බැගින් පරාජය වී සිටින ශ්‍රී ලංකාව සහ භූටානයට අවසන් පූර්ව වටයට යැම සඳහා ඉතිරි ඉදිරි තරග දෙක ජය ගැනීම අනිවාර්ය වේ. එය අපේක්‍ෂිත අයුරින්ම සිදු වුවහොත්, ලැබෙන ප්‍රසාද ලකුණු සමවන හෙයින්, සුදුස්‌සා තේරීමට බලපානු ලබන පරාජිත ගෝල් පරතරය ශ්‍රී ලංකාවට බරපතළ ලෙස බලපානු ඇත.
 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v