39 වැනි ජාතික ක්‍රීඩා උළෙලේ සමස්‌ත ශූරතාව මෙවරත් බස්‌නාහිරට

මධ්‍යම සහ දකුණ මලල ක්‍රීඩා ශූරතා දිනති
අනෝමා කරුණාවංශට සහ ඉන්දික දිසානායකට මෝටර් රථ හිමිවෙයි

සුසිල් ප්‍රේමලාල් සහ ලෙස්‌ලි ටියුඩර් ද සිල්වා නාවලපිටියේ සිට

කාන්තා හෙල්ල විසිකිරිමේ ඉසව්ව
නියෝජනය කල නදීකා ලක්‌මාලි

ඡායාරූප - ජූඩ් ඩෙන්සිල් පතිරාජ

ක්‍රීඩා අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේදී ඊයේ (03 දා) අවසන් වූ 39 වැනි ජාතික ක්‍රීඩා උළෙලේ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස දකුණු පළාතේ මංජුල කුමාර විඡේසේකර සම්මාන ලැබූ අතර වයඹ පළාතේ චන්ද්‍රිකා සුභාෂිණී දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවාය.

උස පැනීමේ ඉසවුව මීටර 2.18 කින් නිම කොට දැක්‌වූ දක්‍ෂතාව සහ මීටර 400 ඉසවුව තත්. 54.52 කින් නිම කොට දැක්‌වූ දක්‍ෂතාව මත මංජුල සහ චන්ද්‍රිකා අදාළ සම්මානයට පාත්‍ර වූහ. ඒ අනුව ඔවුන් දෙදෙනාට යතුරු පැදිය බැගින් පිරිනැමිණි.

මීට අමතරව අදාළ තරගාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තාවක්‌ බිහි කළ නැගෙනහිර පළාතේ අනෝමා කරුණාවංශට රුපියල් ලක්‍ෂ 22 ක්‌ වටිනා නවීන මෝටර් රථයක්‌ පිරිනැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගැනීම විශේෂත්වයක්‌ විය. මලල ක්‍රීඩාවේ ශ්‍රී ලංකා වාර්තාවකට එවැනි පරිත්‍යාගයක්‌ පිරිනැමුණු ප්‍රථම අවස්‌ථාවද මෙය වෙයි.

මීට අමතරව බර එසැවීමේ ඉසවුවෙන් ශ්‍රී ලංකා වාර්තා බිහි කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් උපරිම දක්‍ෂතාව දක්‌වා ඇති වයඹ පළාතේ ඉන්දික දිසානායකටද නවීනතම මෝටර් රථයක්‌ පිරිනැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය ඊයේ පියවර ගත්තේය.

මේ අතර 39 වැනි ජාතික ක්‍රීඩා ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි ශූරතාව සහ කාන්තා ශූරතාව මධ්‍යම සහ දකුණු පළාත්වලට පිළිවෙළින් හිමිවිය. රන් 7 ක්‌, රිදී 1 ක්‌ සහ ලෝකඩ 5 ක්‌ දිනාගනිමින් මධ්‍යම පළාත පිරිමි ශූරතාවටද, රන් 7 ක්‌, රිදී 5 ක්‌ සහ ලෝකඩ 2 ක්‌ දිනා ගනිමින් දකුණු පළාත කාන්තා ශූරතාවටද හිමිකම් පෑහ. මලල ක්‍රීඩා පිරිමි අනුශූරතාව බස්‌නාහිර පළාත විසින්ද කාන්තා අනුශූරතාව බස්‌නාහිර පළාත විසින්ද හිමි කරගන්නා ලදී.

මෙවර ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියේදී වාර්තා බිහිවීම අවම වූ අතර නව ශ්‍රී ලංකා වාර්තාවක්‌ සමග තරග වාර්තා 3 කට සීමා විය. නදීකා ලක්‌මාල්(දකුණ) ඊයේ නව තරග වාර්තාවක්‌ බිහි කළ ක්‍රීඩිකාව විය.

ක්‍රීඩා 22 කින් සමන්විතව ක්‍රියාත්මක වූ 39 වැනි ජාතික ක්‍රීඩා උළෙලේ සමස්‌ත ශූරතාව සඳහා පිරිනැමෙන ජනාධිපති කුසලාන මෙවරත් බස්‌නාහිර පළාතේ ක්‍රීඩක ක්‍රිඩිකාවෝ දිනාගත්හ.

බස්‌නාහිර පළාත, ජාතික මහ ක්‍රීඩා උළෙල පළාත් මට්‌ටමින් ක්‍රියාත්මක සෑම වසරකදීම එහි ශූරතාව දිනා ගැනීමට සමත්වූ අතර 1975 වසරේදී ගාල්ලේදී පැවැති ජාතික ක්‍රීඩා උළෙලේදී පමණක්‌ දකුණු පළාත එහි ශූරතාව දිනා ගැනීමට සමත්විය.

මෙවර බස්‌නාහිර පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් 76 ක්‌ රිදී 60 ක්‌ සහ ලෝකඩ 55 ක්‌ වශයෙන් පදක්‌කම් දිනාගත්හ. ක්‍රීඩා උළෙලේ සමස්‌ත අනුශූරතාව මධ්‍යම පළාතට හිමිවිය. දිනාගත් පදක්‌කම් සංඛ්‍යාව රන් 41 ක්‌, රිදී 38 ක්‌ සහ ලෝකඩ 35 ක්‌ විය.

ක්‍රීඩා උළෙලට කළු පැල්ලමක්‌

39 වැනි ජාතික ක්‍රීඩා උළෙලේ සිදුවූ "කලු පැල්ලම"Êලෙස වොලිබෝල් පිරිමි තරගාවලියේ රන් පදක්‌කම නිතරගයෙන් බස්‌නාහිර පළාතට පිරිනැමීම සඳහන් කළ හැක.

කණ්‌ඩායම් ක්‍රීඩකයන් ලියාපදිංචිය පිළිබඳව මතු වූ ප්‍රශ්නයක්‌ හේතු කොට ගෙන වොලිබෝල් පිරිමි අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා සිටි බස්‌නාහිර සහ සබරගමුව පළාත් කණ්‌ඩායම් අතරින් බස්‌නාහිර කණ්‌ඩායමට නිතරගයෙන් රන් පදක්‌කම පිරිනැමීමට තරග සංවිධායකයන් පියවර ගත් අතර එයට සබරගමුව පළාතේ ක්‍රීඩා බලධාරීන්ගේ සහ තරග නැරඹීම සඳහා නාවලපිටියට පැමිණ සිටි සබරගමුව පළාතේ ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි විරෝධතා එල්ල වූහ. තරගය නොපැවැත්වීමට තීන්දු කළ අවස්‌ථාවේ සබරගමුව ක්‍රීඩා ලෝලීන් යෑයි කියා ගත් පිරිසක්‌ ක්‍රිඩා අමාත්‍යාංශ නිලධාරීන්ට එරෙහිව විරෝධතා පුවරු ප්‍රදර්ශනයකද නියෑළීම සුවිශේෂී වෙයි. ජාතික ක්‍රීඩා තරග ඉතිහාසයේ මෙවැනි සිද්ධියක්‌ වාර්තා වූ ප්‍රථම අවස්‌ථාවද මෙය වෙයි.

අවසන් තරගය සඳහා සබරගමුව වොලිබෝල් කණ්‌ඩායම සුදුසුකම් ලබා ඇතත් නාවලපිටියේදී ලියාපදිංචි වී නැති නිසා එම කණ්‌ඩායමට තරගයට සහභාගිවීමේ අවස්‌ථාව දිය නොහැකි බවට තරග සංවිධායකයන් තීන්දු කොට තිබූ අතර එක්‌ වරක්‌ ලියාපදිංචි වී ඇති නිසා යළිත් ලියාපදිංචි වීමක්‌ පිළිබඳව තමන් දැනුවත්ව නොසිටි බව සබරගමුව ක්‍රීඩා බලධාරීහු පවසති.

මේ අතර ඊයේ (3 දා) පැවැති අවසන් තරගවලදී සබරගමුව පළාතේ අයි. ඩී. එස්‌. එස්‌. ජයසිංහ තුම්පිම්ම ඉසවුව මීටර 15.91 කින් නිමා කරමින්ද, උතුරු මැද පළාතේ ඩබ්. එම්. එස්‌. කේ. වීරසේකර කවපෙත්ත ඉසවුව මීටර 42.47 කින් නිමා කරමින්ද සබරගමුව පළාතේ ඒ. එන්. එල්. ආරියදාස මීටර 10000 ඉසවුව මි. 36(26(38 කින් නිම කරමින්ද මධ්‍යම පළාතේ ලයනල් සමරජීව මීටර 5000 ඉසවුව මි. 14(42(86 කින් නිම කරමින්ද බස්‌නාහිර පළාතේ ඩී. කේ. රණසිංහ උස පැනීමේ ඉසවුව මීටර 1.73 කින් නිම කරමින්ද බස්‌නාහිර පළාතේ කේ. පී. නිර්මාල් මීටර 110 කඩුලු ඉසවුව තත්. 14.80 කින් නිම කරමින්ද බස්‌නාහිර පළාතේ ටී. එµa. අලෙයිලීමා යගුලිය ඉසව්ව මීටර 44.14 කින් නිමා කරමින්ද සබරගමුව පළාතේ ඩී. ඒ. එච්. විඡේසිංහ මීටර 100 කඩුලු පැනීමේ ඉසවුව තත්. 14.70 කින් නිම කරමින්ද දකුණු පළාතේ නදීකා ලක්‌මාලි හෙල්ල විසි කිරීමේ ඉසවුව මීටර 57.89 කින් නිමාකරමින්ද වයඹ පළාතේ චන්ද්‍රිකා සුභාෂිණී මීටර 400 කාන්තා ඉසවුව තත්. 54.52 කින් නිමා කරමින්ද උතුරු මැද පළාතේ කසුන් කල්හාර සෙනෙවිරත්න මීටර 400 පිරිමි ඉසවුව තත්. 47.08 කින් නිමා කරමින්ද මධ්‍යම පළාතේ පී. ඒ. සී. නදීෂාන් මීටර 100 ඉසවුව තත්. 10.96 කින් නිමා කරමින්ද දකුණු පළාතේ පී. එච්. චමල් මීටර 1500 පිරිමි ඉසව්ව මි. 3(59(20 කින් නිමා කරමින්ද රන් පදක්‌කම් දිනාගත්හ.

39 වැනි ජාතික ක්‍රීඩා උළෙල ඊයේ පස්‌වරුවේ අවසන් වූයේ මධ්‍යම පළාතේ ආණ්‌ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙනි.

ක්‍රීඩා උළෙලේ සමාප්ති උළෙලද සමාරම්භක උළෙල මෙන් විචිත්‍ර වූ අතර ලබන 2014 දී පැවැත්වීමට නියමිත 40 වැනි ජාතික මහ ක්‍රිඩා උළෙල කිලිනොච්චියේදී පැවැත්වීමේ තීරණයෙන්, 39 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙල ඊයේ පස්‌වරුවේ නිමා කෙරිණි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.