ආදිවාසීන්ගේ දඩයම් ක්‍රම

දයානන්ද බිනරගම

වැද්දෝ සතුන් දඩයම් කිරීමේදී විවිධ උපක්‍රම භාවිත කරති. ඔවුහු දඩමං ඔස්‌සේ යැමේදී හෙළා ගත යුතු සතාට නොපෙනී යැම සඳහාත්, මිනිස්‌ කුයිල සතාට ආඝ්‍රහණය වීම වැළැක්‌වීම සඳහාත්, කොළ අතු ඇන්දාහ, යි ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ අදහස්‌ කරයි. යුධ බිමට යන භටයන් පවා සතුරාට නොපෙනී ළං වීම සඳහාත්, ගරිල්ලා සටන් ක්‍රම යොදා ගන්නා ආකාරය පිළිබඳවත්, වැද්දන්ගෙන් අනුකරණය කරන ලද්දක්‌ යෑයි විශ්වාස කළ හැකි ය. වන ගැබ තුළ නිතර සැරි සෑරීමට සිදුවන වැද්දාට වන සතුන්ගෙන් ආරක්‌ෂා වීම සඳහාත්, දඩයම් කරන සතාට නොපෙනී ළං වීම සඳහාත්, කොළ අතු ඇඳගෙන උරහිස දක්‌වා කෙස්‌ වැටිය මුදාහැර දඩයම් කරන සතා වෙත ළං විය යුත්තේ කොළ පර`ඩලා පතකුදු නොසෙල් වෙන පරිද්දෙනි. අත දරා සිටින දුනු දිය ද, පෙර`ගිලිය හා ඊතලය ද, කළු පැහැයෙන් වර්ණ කරන්නේ මේ නිසා ය. එපමණක්‌ නොව සමහර අවස්‌ථාවල කළු අ`ගුරු දැළි ඇ`ග තවරාගෙන සතාට නොපෙනෙන ලෙස ඉතාම ළං වී දඩයම් කළ බව රතුගල දඩ වැද්දෙකු වන කිරිබණ්‌ඩියලැත්තෝ ප්‍රකාශ කරයි. මෙසේ සතාගේ සමීපයට කිටිටු වන වැද්දා සතාට දුනු දිය අදින්නේ කරුණු කිහිපයක්‌ සලකා බැලීමෙන් බව දක්‌ෂතම දඩ වැද්දෙකු වන හෙන්නානිගල කළු අප්පිලැත්තෝ ප්‍රකාශ කරයි. සතා ගැබ්බර එකියක්‌ ද, පැටවුන් වදාගත් එකියක්‌ ද, අං`ගවිකල හෝ රෝගයකින් පෙළෙන සතෙක්‌ ද, සතෙකුගේ පහරදීමට ලක්‌ වී වේදනාවෙන් පෙළෙන සතෙක්‌ ද, යන්න තීරණය කර දුනු දිය අදින බව ඔහු ප්‍රකාශ කරයි. එමෙන් ම දිය බොමින් සිටින සතෙකු හෝ සංවාසයේ යෙදෙන සතුනට හෝ දුනු දිය ඇදීම වැද්දාගේ සිරිත නොවන බවත්, ඔහු පවසයි. වැද්දන්ගේ දඩයම් තහංචි අතර ඇති මේ මුලික නීති රීති එකල වන සතුන් රැකගැනීමට බොහෝ උපකාරී වී ඇත. සතුන් කොටු කර ගෙන හෝ හදා වඩා ඇති දැඩි කර ගෙන මරා ආහාරට ගැනීමක්‌ වැද්දෝ කළ බවට හෝ කරන බවට කිසිදු ලේඛකයෙක්‌ සඳහන් කර නොමැති අතර එසේ කිරීම වැද්දන්ට තහංචි බව වැදිනායක වන්නියලැත්තෝ ප්‍රකාශ කරයි. වන්නියලැත්තගේ පියා වන තිසාහාමි විසින් අතරමංවූ මුව පැටියෙකු සුරතලයට ඇති දැඩි කරගෙන ඇති අතර වන්නියලැත්තන්ගේ රුකුල් පො-ෙ- දැනුදු නිදැල්ලේ හැසිරෙන මුව පැටියෙකු දැක ගැනීමට ලැබීමෙන් පෙනී යන්නේ වැද්දෝ දියුණු යෑ,යි සම්මත මහා සමාජයේ මිනිසාට වඩා පරිසර හිතකාමී සංවේදී පුද්ගලයන් බවයි. ඇති දැඩි කළ සත්ත්වයෙක්‌ මැරීම වැද්දන් නො පෙළඹෙන අතර එසේ ඇති දැඩි කර ගෙන මරා කෑම වැද්දන්ට තහංචි බව වන්නියලැත්තෝ ප්‍රකාශ කරයි.

වනාත්තරයේ දඩයම් කිරීම සෘජු ජීවනෝපායක්‌ ලෙස වැද්දෝ අතීතයේදී පවත්වාගෙන ගොස්‌ ඇත. නමුත් වර්තමානයේ ඔවුහු හේන් වගාවට යොමු වී ඇති අතර හේන්වල බෝග විනාශ කිරීමට එන සතුන් අල්ලා ගැනීම අදටත් සිදු කරයි. හේන ආරක්‌ෂා කර ගැනීම සඳහා වැද්දන් විසින් විවිධ උපක්‍රම යොදනු ලැබේ. අතීත වැද්දන් සතුන් අල්ලා ගැනීම සඳහා විවිධ වු උපක්‍රම භාවිතා කර ඇත.

ආදිවාසීහු සතුන් දඩයම් කරන ක්‍රම

1. විෂ ගෙඩි සහ විෂ වැල් තැලීම.

2. හබක ඇටවීම.

3. උගුල් ඇටවීම.

4. ගිනි ගැසීම හා දුම් පිඹීම.

5. කරු මන්ද තැබීම.

6. දඩයම් බල්ලන් ලවා කොටු කිරීම.

7. ලෑන්තැබීම.

8. රිලා උගුල ඇටවීම.

1. විෂ ගෙඩි හා විෂ වැල් තැලීම.

දඩමං ඔස්‌සේ කැළෑවේ සැරි සරණ වැද්දන්ට දියමං, දිය කඩිති, ඇළ දොළ, ගංගා, පාළු වැව් බොහෝ අවස්‌ථාවලදී හමුවේ. එවැනි අවස්‌ථාවලදී මත්ස්‍යයන් ඇත් දැයි දැන ගන්නේ පිලා වද හපයක්‌ දිය කඩිත්තට දැමීමෙන් පසු මඩ යට සිටින හිරි කනයා සහ දිය පතුලේ සිටින හොර පොළයා මෙන්ම ම`ගුරා ද, ඊ ගසක වේගයෙන් දිය මතට පැමිණ පිලා වද හපය ගිල දමා අසුරු සැනින් දිය පතුලට කිමිදෙන බව වැද්දෝ දනිති. ගලා යන දිය ඇලක්‌ නම් ගල් හා පස්‌ වැටි යොදා ජලය හරස්‌ කොට මත්ස්‍යයන් ඇල්ලීමට සුදානම් වේ. දිය වළක්‌ දුටු විට එහි ඉන්නේ කුඩා මසුන් ද, විශාල මසුන් ද, කියා තීරණය කිරීමට පමණක්‌ නොව මත්ස්‍යයන් අල්ලා ගැනීම සඳහා අවශ්‍යම ක්‍රම ශිල්ප ද, වැද්දෝ ප්‍රගුණ කර ඇත. එවැනි මත්ස්‍යයන් සිටින දිය වළක්‌ දුටු විට වැද්දෝ කැළෑවට රිංගා කල වැල්, පුස්‌වැල්, පතොක්‌, බල පොතු හෝ කුකුරුමාන් ගෙඩි ගෙන ගලක්‌ උඩ තබා පොරෝ බන්දෙන් තලා වතුරේ තබමින් නැවත නැවතත්, එසේ කිරීමෙන් හා දිග රිටක්‌ ගෙන කලත කලතා පෙන නගින තෙක්‌ විෂ ගෙඩිවල හෝ විෂ පොතුවල හෝ විෂ වැල් වල යුෂ ජලයට කලවම් කිරීමෙන් පසු ටික වේලාවකදී ජලය අව පැහැ ගැන්වෙන්නට පටන්ගනී. තවත් ටික වේලාවකදී වළේ සිටින කුඩා මසුන් විසෙන් මත්ව මත්ස්‍යයන් ජලයේ උඩ පාවෙන්නට පටන් ගනී. එවිට මලුදැමකට මත්ස්‍යයන් එකතු කර ගනී. ලූලා, පෙතියා, ම`ගුරා, හිරි කනයා, හුංගා වැනි මත්ස්‍යයන් දිය යට සිටින බව දැන ගත හොත් වැද්දෝ කරන්නේ ලබු කැට දෙකක්‌ රැගෙන කැළයට ගොස්‌ දළුක්‌ කිරි එකතු කරගෙන විත් ජලයට මුසු කර කැළැතීමයි. එවිට මත්ස්‍යයන්ගේ ඇස්‌ නොපෙනීමෙන් ජලයේ උඩ පාවීමට පටන් ගනී. අවසානයේ දිය කඩිත්තේ සිටින මත්ස්‍යයන් සියල්ල මලුදැමක පුරවාගෙන ගොස්‌ ගල් ඇන්දක්‌ උඩ හරි බරි ගැසී ඉදගෙන මත්ස්‍යයන් ඊතලයෙන් දෙකට පලා ගල් ඇන්ද උඩ වේලීමට දමනු ලැබේ. ඒ ආසන්නයේ ම තනමක්‌ (අඩි 2, 1/2) පමණ උස ලී මැස්‌සක්‌ තනා යටින් ගිනි ගසා කරවීමට හැර එවලේ ම ආහාරයට ගැනීම වැද්දන්ගේ සිරිත වේ. ඉතිරි මත්ස්‍යයන් දුන් මැස්‌සේ තබා කරවල ලෙස අවශ්‍ය විට ආහාරයට ගැනීමට හා කල් තබා ගැනීමට වැද්දෝ දැන සිටිති. මේ අනුව මත්ස්‍යයන්ට විෂ ගෙඩි හා විෂ වැල් කවරේ දැයි හ\qනාගෙන මසුන් අල්ලා ගැනීමේ හා කරවල වේලා ගැනීමේ ක්‍රමවේදයන් වැද්දෝ ප්‍රගුණ කර ඇත.

සෙලිග්මාන් සඳහන් කරන පරිදි වෙරළබඩවාසී වැද්දෝ මසුන් මැරීමෙහි ශූරයෝ ය. ඔවුහු වීසි (බරු) දැල ඇතුළු විවිධාකාරයේ දැල් වර්ග නිපදවා ගැනීමටත්, ඒවා භාවිත කිරීමටත්, දක්‌ෂයෝ ය. දෙමළ ධිවරයන්ගෙන් අනුකරණය කරගත් දෙපසට විහිද ගිය උල් හිස සහිත හෙල්ලෙන් ඇනීමෙන් ද, වීදාලීමෙන්ද, ඔවුහු මසුන් මරති. වීදාලීමෙන් මසුන් මැරීම සඳහා ඔවුහු යොදා ගන්නේ වැද්දන්ගේ සාමාන්‍ය දුන්න වෙති. එහෙත් දුන්නේ ප්‍රමාණයට ම වාගේ දිගැති එහි ඊතලය බුරුලට සිටිනසේ ගැටගසන ලද යොතක්‌ ද යොදා ගෙන ඇති හෙයින් එය ඇවුලුම් බිලියක්‌ බවට පත්ව තිබේ. මසුන් මැරීමට වෙරළබඩවාසී වැද්දන් විසින් භාවිත කරනු ලබන විසි දැලත්, හෙල්ලත්, වෙරළබඩ වැද්දන්ගේ ප්‍රධාන ආයුධ දෙකක්‌ ලෙස ඔහු පෙන්වා දෙයි. (සෙලිග්මාන් (496, පිටුව).

2. හබක ඇටවීම

'හබක' නමින් හඳුන්වන දඩයම් ක්‍රමය වැද්දන් විසින් කැළෑවේ අටවන ලද්දක්‌ වුවද, පසුව හේන්වලට ආසන්නව ගැමියන් විසින් ද, හේන්වලට එන සතුන් අල්ලා ගැනීම සඳහා හබක ඇටවීමට වැද්දන්ගෙන් ආභාසය ලබා ඇත. මේ සඳහා භාවිත කරන්නේ ගල් හා දැව දඬුය. තිපල්ලත්ථ මිග ජාතකයේ මුවන් සඳහා උගුල් අටවන වැද්දෙක්‌ පිළිබඳව සඳහන් වන අතර ජාතක කථා කිහිපයක ම වටුවන්, ගිරවුන්, ගොයින් ආදී සතුන් අල්ලා ගැනීම සඳහා උගුල් අටවන වැද්දන් පිළිබඳව තොරතුරු එයි. මෙයින් පැහැදිලි වන්නේ වැද්දෝ ඈත අතීතයේ සිට ම උගුල් ඇටවීමෙන් සතුන් මරා ගැනීමට දක්‌ෂතාවයක්‌ දක්‌වා ඇති බවයි. ඌරන් දඩයම් කිරීම පිළිබඳව රොබට්‌ නොක්‌ස්‌ සපයා ඇති විස්‌තරයට අනුව පෙනී යන්නේ 'හබක ඇටවීම' මහනුවර ජන ජීවිතයේදී පවා ඉතා ජනප්‍රිය ව පැවති දඩයම් ක්‍රමයක්‌ බව ය. ඒ විස්‌තරයට අනුව 'ගම්මු ලොකු බරක්‌ උඩින් තබා උගුලක්‌ අටවා ඒ බරට යටින් ඌරන් කෑමට ප්‍රිය කරන අල වර්ගයන් තබති. ආහාර සොයා ගෙන එන ඌරා කොළ රො`ඩු ස`ගවා තිබෙන උගුලක පැටළුණ හොත් හෝ පැමිණුන හොත් උඩින් තබා ඇති බර ඌරා මත වැටී ජීවිතක්‌ෂයට පත් වේ."

හබක ඇටවීමේ ක්‍රම කිහිපයක්‌ම ඇත. මේ සඳහා ගන්නේ දැව ද`ඩු, වැල් සහ ශිලා කැබළි ආදියයි. ප්‍රථමයෙන් ම සිරස්‌ හා තිරස්‌ අතට සමාන්තර ලී කෝටු තබා කොටු දැලක්‌ වියා ගනී. ඉන් පසු ලී කණු දෙකක්‌ සිටුවා හරහට සාමාන්‍ය ලීයක්‌ කරු දෙකක රඳවනු ලැබේ. සමහර විට බුරුල් ගැටයකින් රඳවන අවස්‌ථා ද ඇත. ඉන් අනතුරු ව ලී කෝටු දැළ හරස්‌ ලීයට සිටින ලෙස කෝණයක ස්‌වරූපයෙන් රඳවනු ලැබේ. කොටු දැළ මත ගල් රඳවා වැල් පොටවලින් වෙලා රඳවා ඇති අතර කොටු දැළ යට සතා කෑමට ප්‍රිය කරන ආහාරයක්‌ දමා එම ආහාර වැල් පටකින් රඳවා උගුල් ලීයට ගැට ගසා තිබේ. සතා ආහාරය අදිත් ම ක්‌ෂණයකින් කොටු දැළ රඳවනය කඩාගෙන සතාගේ ඇඟ මතට ගල් රඳවනය පතිතවීමෙන් සතා ජීවිතක්‌ෂයට පත්වේ. මෙම හබක ඇටවීම විධික්‍රම පහකට සිදු කරනු ලැබේ. සතාගේ ප්‍රමාණය අනුව එය තීරණය කරන බව සතුන් සඳහා උගුල් ඇටවීමේ දක්‌ෂයෙකු වන දඹානේ බූඩි බණ්‌ඩියා විස්‌තර කළේ ය.

3. උගුල් ඇටවීම

වර්තමාන වැද්දන්ගේ හේන් වගාවන්වලට වැඩි හානි සිදු කරන්නේ රිලවුන් හා වඳුරන් ය. මේ සඳහා වැද්දන් විසින් යොදන උපක්‍රමයක්‌ වන්නේ කුරුම්බා ගෙඩියක්‌ කට කුඩාවට කපා කුරුම්බා මද හූරා තැබීමෙන් වඳුරන් හා රිලවුන් කුරුම්බා මද කෑම සඳහා කුඩා සිදුර තුළින් අත ඇතුළට දමනු ලැබේ. එහෙත් එම සතුන් කුරුම්බා මද ගෙඩිය ඇතුළතම අතමිට මොලවාගෙන දුවන අවස්‌ථා වලදී කොටු කර මරා ගන්නා අවස්‌ථා ඇති බවයි.

එමෙන් ම හේන් වගාවලදී කුඩා පැළ සන්දියේදී වගා විනාශ කරන සත්ත්වයා වන්නේ හාවාය. වැද්දන් හාවා හඳුන්වන්නේ 'ලෙන්ඩි' යනුවෙනි. වී පැළ, බඩ ඉරිඟු පැළ, මෑ, මුං, කව්පි හා මිරිස්‌ පැළ ලෙන්ඩින්ගෙන් ආරක්‌ෂා කර ගැනීම අපහසු ය. මේ නිසා වර්තමාන වැද්දෝ සිදු කරන්නේ කුඩා කම්බි වැලක්‌ හාවාගේ ප්‍රමාණයට වඩා තරමක්‌ කුඩාවට එකම කම්බියෙන් රවුම් ගොතා හාවුන් හේනට එන මංකඩවල් ඔස්‌සේ හාවෙකුගේ උස ප්‍රමාණයට ඇද තැබීම වේ. යටින් කොළ අතු රුකුල්ලා තැබීම නිසා හාවා මන්දට හිර වී පටලවාගෙන ජීවිතක්‌ෂයට පත්වේ. මෙම උගුල් ඇටවීමේ ක්‍රමය සබරගමු බින්තැන්නේ වැසියන් ද සිදු කරනු ලැබේ. ද`ඩු ලේන් උගුල, රිලා උගුල, කබල්ලෑ උගුල, වලි කුකුළු උගුල, ගිරා උගුල, කොළ අතු උගුල, දුනු උගුල, ආදී සතුන් අල්ලා ගැනීම සඳහා උගුල් ක්‍රම වැද්දෝ නිර්මාණය කරති.

4. ගිනි ගැසීම හා දුම් පිඹීම.

බඹර කැපීම වැද්දෝ සිදු කරන්නේ ජීවිතයත්, මරණයත්, අතර සටනක්‌ වශයෙනි. බොහෝ වැද්දෝ බඹර කැපීමෙන් ජීවිතක්‌ෂයට පත් වී ඇති බව හෙන්නානිගල සුදු බණ්‌ඩියලැත්තෝ ප්‍රකාශ කරයි. බඹර බඳින්නේ ගස්‌ වල අතු අග හෝ ගල් පර්වතවල බෑවුමේ ය. මේ නිසා ගස්‌ වලට හැර බැඳීමෙන් හෝ කුඹ බැඳීමෙන් ද, පර්වත බෑවුම්වලට වැල් ඉනිමං බැඳීමෙන් වැද්දෝ බඹර පැණි ලබා ගැනීමට උනන්දු වෙති. බඹර කැපීම සඳහා "හුළු අත්තක්‌" හෙවත් "ගිනි හුළක්‌" සකස්‌ කර ගත යුතුය. දහවලක බඹරය කපන්නේ නම් සකස්‌ කර ගන්නේ "බහදුම් ඕඩය" වේ. බහදුම් ඕඩය යනු අධික දුම පිට කරන ගිනි හුල වේ. රාත්‍රි කාලයේ දී බඹරය කපන්නේ නම් සකස්‌ කර ගන්නේ 'පුපුරු ඕඩය' වේ. පුපුරු ඕඩය යනු ගිනි දැල්ල නගින ගිනි හුල වේ. බඹර කපන වැද්දා මෙම දුම් පන්දම් දෙකෙන් එකක්‌ ගෙන බඹරයට ළං වී දුම් පන්දම දල්වා බඹරයට දුන් වැදීමට සලස්‌වනු ලැබේ. දුම් ඕඩයෙන් හොඳට දුම් වැදෙත් ම බඹර මැස්‌සෝ උඩ ඉඟිලෙති. එවිට හැකි ඉක්‌මනින් නැවත බඹරයට මැස්‌සෝ පැමිණීමට පෙර බඹරය කඩා පැණි ලබා ගැනීමට වැද්දෝ දක්‌ෂයෝ වෙති.

කබල්ලෑවන්ගේ හා තලගොයි මසට වැද්දෝ දැඩි රුචිකත්වය අතීතයේ සිටම දක්‌වා තිබේ. මෙම සතුන් මිනිස්‌ ඉව වැටුණු වහාම ගල් රුකුල්වලට හෝ ගස්‌ බෙනවලට හෝ හුඹස්‌ කටවලට රිංගීම සිරිතය. එවිට වැද්දෝ සිදු කරන්නේ සතා රිංගන ලද රුකුල් කට අසලම ගිනි මැලයක්‌ ගසා භූමිය රත් කිරීමයි. එවිටත් සතා එළියට නො එන්නේ නම් අමු කොළ අතු මිටියක්‌ කඩා ගිනි මැලයට දමා දුම ගස්‌සවා, ගස්‌ පොත්තක්‌ ගලවා දුම් බටයක්‌ තනා ගෙන රුකුල් කටට ඇතුළු වන සේ දුම් පිඹීමෙන් සතා නිතැතින් ම එළයට එන බව වැද්දෝ කියති. මෙම දුම් ගැසීම සඳහා ගන්නේ පැ`ගිරි කොළ බව රතුගල වැද්දෙකු වන කිරි බණ්‌ඩියා ප්‍රකාශ කරයි. මෙහි සඳහන් බොහෝමයක්‌ සතුන් දඩයම් කරන ක්‍රවේද පැහැදිලි කරන ලද්දේ ඔහු විසිනි.

5. කරු මන්ද තැබීම

බොහෝ විට කරු මන්ද තබන්නේ ඌරන් ඇල්ලීම සදහා ය. අඩි 3 ක්‌ පමණ දිග අත් ගොබයක්‌ පමණ මහත වක්‌ක ගැසුණු කරුවක්‌ සහිත ලීයක්‌ ගෙන වියතක්‌ (අ`ගල් 8) පමණ දිග කරුවක්‌ සිටින සේ පළමුව කපා ගනී. කරු ලීයේ අගින් කුකුළු වේවැලකින් හෝ නිල් වැලකින් හෝ වර්තමානයේදී නම් කුඩා කේබල් කම්බියකින් නොගැලවෙන පරිදි ගැටයක්‌ දමා ගනී. එම වේවැල අඩි 7 ක්‌ පමණ දිග වේ. මෙසේ සකස්‌ කර ගන්නා ලද කරුමන්ද රැගෙන ගොස්‌ ඌරන් නිතර ගමන් කරනා 'පල්ලම් මං කඩක' ඌරාගේ ඔලු ගෙඩියේ ප්‍රමාණයට වඩා තරමක්‌ විශාල ලෙස මන්ද රදවනු ලැබේ. පළමුව එන ඌරා මන්දට හසු වන අතර ඌරා එය ගලවා ගැනීමට දුවන විට දී කරු මන්ද පැටලීමෙන් තව තවත් හිර වේ. සමහර විට හිර වීමෙන් ම මරණයට පත්වන අතර එසේ නොවුණු අවස්‌ථාවල දී ඌරා ගිය මග සොයා පොලූ මුගුරුවලින් හෝ පොරෝ බන්දෙන් තලා ජීවිතක්‌ෂයට පත් කරනු ලැබේ. කරුමන්දට අමතරව පොලු මන්ද ඇටවීම ද කරනු ලැබේ. පොලු මන්ද සකස්‌ කරන්නේ සතුන් ගමන් ගන්නා මාර්ගයේ පොලු දෙකක්‌ සිටුවා එම කණු දෙක හසුවන ලෙස මදු වැල හෙවත් මරුවැල ඇමිණීම වේ. මෙම ක්‍රමයේදී මරුවැලට පැටලෙන සත්වයා ගෙල හිරවීමෙන් එම ස්‌ථානයේ දී ම ජීවිතක්‌ෂයට පත්වේ.

6. දඩයම් බල්ලන් ලවා කොටු කිරීම.

වැද්දන්ගේ පරම මිතුරා බල්ලා ය. අතීතයේ දී වැදි තරුණියක්‌ සරණපාවා දෙන දවසේ ඇගේ පියා සහ මව විසින් සිය බෑණාට දුන්නක්‌, ඊතලයක්‌ හා බල්ලන් දෙදෙනකු තෑගි කිරීමේ සිරිතක්‌ අතීතයේ දී පැවත තිබේ. බල්ලාට වැදි භාෂාවෙන් ආමන්ත්‍රණය කරන්නේ 'කටා' යනුවෙන් වුවද, වැද්දෝ තමන් දඩයම සඳහා ඇති කරන බල්ලන්ට වෙන වෙනම නම් භාවිත කරයි. පොල්ලේබැද්දේ වැදි නායක ගෝඹා ඇත්තන්ට 'පුලා' නමින් බල්ලෙකු සිටි බව ආචාර්ය ඊ. ඇම්. රත්නපාල පෙන්වා දෙයි. (ලංකාවේ වැද්දෝ හැඳින්වීමේ ඡායා රූපය) වැද්දන් බල්ලාට ආමන්ත්‍රණය කරන තවත් නාමයක්‌ වන්නේ සුනඛායා යන්නයි. මහසෝනාගේ දිෂ්ටිය බල්ලාට ඇති බව ජන විශ්වාසයයි. දඩයමක්‌ කර ගත් පසු දඩයම් බල්ලන්ට මස්‌ වෙන් කිරීමේ සිරිතක්‌ වැද්දන් අතර ඇත. වැද්දෝ දඩයමේ යන අවස්‌ථාවල දී බල්ලන් ද කැටුව යැම සිරිත ය. වැද්දන්ට බල්ලන් ඉව අල්ලා සතුන් කොටු කර දෙන අතර සතුන් හෙම්බත් වෙන තුරු පන්නා බල්ලන් ම සතුන් දඩයම් කර දෙන අවස්‌ථා ද, ඇති බව ගෝඹා ඇත්තෝ ප්‍රකාශ කරයි. එමෙන් ම බල්ලාගේ හතුරන් තිදෙනා වන්නේ කොටියා, නයා සහ පිඹුරා බව රතුගල වැදිනායක සුදාවන්නියලැත්තෝ ප්‍රකාශ කරයි. සතුන් අල්ලා ගැනීම සඳහා බලලන් හීලෑ කර ගැනීම අතීතයේ සිට ම වැද්දන් සිදුකර තිබේ.

7.ලෑන් තැබීම

වැද්දන් විසින් පක්‌ෂීන් අල්ලා ගන්නා එක්‌ ක්‍රමයක්‌ වන්නේ ලෑන් තැබීමයි. 'ලෑන් තැබීම' යනුවෙන් හඳුන්වන්නේ කොහෙල්ලෑ ඉටි, ගොරකා ඉටි හෝ මී ඉටි ආදී ඇලෙන ලාටු වර්ග එකට අනා පුළුස්‌සා තනා ගන්නා ලාටුවක්‌ කුරුල්ලන් ගැවසෙන ස්‌ථානවල අලවා තැබීමෙන් කුරුල්ලන්ගේ හොට, තටු සහ පාද ඇලී ඉඟිලීsමට නොහැකි වන බවයි. විශේෂයෙන් හේන් වල ඉරිඟු කරල් හට ගන්නා කාලවලදී මෙම ලෑන් තැබීම සිදුකරන බව වැද්දෝ කිහිප දෙනෙක්‌ ම පවසන ලදහ. ලෑන් යනු ඇලෙන සුළු යන්න වේ. සබරගමු බින්තැන්නේ හේන් ගොවියන් ලෑන් තැබීමට ඇලෙන සුළු ද්‍රව්‍ය සකස්‌ කර ගන්නේ දළුක්‌ කිරි සම`ග කලවම් කරගත් කුරක්‌කන් පිටි ගින්දරින් රත් කොට ක්‌ෂණික ව ඇලෙන සුළු ලාටුවක්‌ සකස්‌ කර ගැනීමයි. වැදි ජනයා පක්‌ෂින් අල්ලා ගැනීම සඳහා මෙම ක්‍රමවේදය භාවිත කරයි. වටුකුරුල්ලන්, ගිරවුන් කොබෙයියන්, බට ගොයින්, උකුස්‌සන්, කොකුන්, සේරුන් සහ ලිහිණියන් වැනි පක්‌ෂීහු මෙසේ අල්ලා ගනිති. පක්‌ෂීන් පණ පිටින් අල්ලා ගැනීමට මෙම ක්‍රමයට හැකි ය. චුල්ල හංස ජාතකයේ හංසයන්ට මළ බඳින වැද්දෙකු පිළිබඳවත්, මහා මයුර ජාතකයේ මොනරු අල්ලන වැද්දෙකු පිළිබඳවත්, තෙසකුන ජාතකයේ ලිහිණි වැද්දෙකු පිළිබඳවත්, ජාතක පොතේ සඳහන් ය. මේ අනුව පෙනීයන්නේ වැද්දෝ පක්‌ෂීන් ඇල්ලීමට අතීතයේ සිට ම දක්‌ෂතාවයක්‌ දක්‌වා ඇති බවයි.

8. රිලා උගුල ඇටවීම.

වැද්දන්ගේ හේන්වලට එන රිලවුන් ඇල්ලීම සඳහා රිලා උගුල් අටවනු ලැබේ. පළමුවෙන් ම දිග දණ්‌ඩියමක්‌ (දිග ලීයක්‌) හේනේ ඇතුළත පඳුරක හෝ ගසක හෝ කණු දෙකක්‌ යා වන ලෙස බැඳගනී. මෙය බැඳ ගැනීමට පෙර වැල්වලින් සාදා ගත් වළල්ලක්‌ දණ්‌ඩියම මැදට වන ලෙස දමා ගනී. හේනේ කණු මන්ද හෝ පිහිටි ගහ ළ`ගින් ම උගුල් ගහ සිටුවා ගහට හෝ කණුවට දෙතුන් පළකින් තද කර බැඳීමෙන් උගුල් ලීයේ තෙරපීම හෙවත් ගැස්‌සීම වේගවත් වන පරිදි උගුල් ලීය නමා මුලින් දණ්‌ඩියමට දමා ගත් 'වැල් වළල්ලේ' රඳවනු ලැබේ. ඉන් පසු වියත් එක හමාරක්‌ පමණ විෂ්කම්භය ඇති තවත් වළල්ලක්‌ වැල්වලින් තනා ගෙන එය ඇතුළතින් ඉඳිආප්ප තට්‌ටුවක්‌ ලෙස පුස්‌වැල් පට්‌ටාවලින් වියා ගනී. මෙය වැද්දෝ "රුකුල් පො-ජ" හෙවත් "රුකුල් මන්ද" ලෙස හඳුන්වති. මෙම උගුල් ලීය රඳවා ඇති වැල් වළල්ලේ සිට රියනක්‌ පමණ ඈතින් මෙය දණ්‌ඩියමේ බැඳ ගනු ලැබේ. මෙම වැල් රුකුල මත 'මන්ද' හෙවත් 'තොණ්‌ඩුව' සාදනු ලැබේ. මන්ද සාදා ගැනීමට ලිහිණි පට්‌ටා වැනි ශක්‌තිමත් පට්‌ටාවලින් අඹරාගත් හීනි වැල් පටක්‌ යොදා ගනු ලැබේ. ඉන් පසු උගුල් ලීය රඳවා ඇති වැල් වළල්ලේ ඇමට බඩ ඉරිඟු කරලක්‌ බඳිනු ලැබේ. බඩ ඉරිඟු කරල කෑමට පැමිණෙන රිලවුන් රිලා උගුලට හසුවෙත් ම වැද්දෝ රිලවුන් අල්ලා ගැනීමේ ක්‍රමවේදයක්‌ සකස්‌ කරගෙන ඇත. මෙම රිලා උගුලක්‌ පැපොල් කරටි කෑම සඳහා ගෙවත්තට එන රිලවුන් අල්ලා ගැනීම සඳහා රතුගල වැද්දන් විසින් අටවා ඇති අයුරු දැක ගැනීමට හැකි විය.

මෙම දඩයම් ක්‍රමවේදයන්ට අමතර ව 'දුනු මෑනීම' නමින් ක්‍රියාවක්‌ සිදු කර ඇත. සතුන් යන එන මාවතක දුනු දිය ඇඳ බැඳ තැබීමක්‌ මෙයින් සිදු කර ඇත. මෙය සිදු කළ ආකාරය පිළිබඳ කිසිදු තොරතුරක්‌ සොයා ගැනීමට නොහැකි විය. සතුන් බඩවැටි උඩින් පැන යන ස්‌ථානයන්හි දී හෙල්ලක්‌ බඳු තියුණු ලෙස උල් කළ රිටක්‌ සිටුවා තබා එය අසලින් පැන යන සතුන් ඊට ඇමිණීමට සැලැස්‌වීමේ ක්‍රමවේදයක්‌ පැවත ඇතත්, අද සිටින වැද්දෝ එය පිළිබඳව නොදනී.

තවත් සතුන් දඩයම් කිරීමේ ක්‍රමවේදයන් බොහොමයක්‌ ගිලිහී ගොස්‌ ඇති බව මූලාශ්‍ර අධ්‍යයනයෙන් පැහැදිලි වේ. මේ අනුව දුන්න හා ඊතලය රැගෙන සතාට ළං වී දුනු දිය ඇඳ සතුන් දඩයම් කිරීම වෙනුවට වැද්දෝ වෙනත් ක්‍රම ශිල්ප උපයෝගී කර ගනිමින් සතුන් දඩයම් කර ඇත. සිය ජීවන වෘත්තිය වූ දඩයම කරගෙන ආ නමුත් අද වන විට වැද්දෝ දඩයම් ජීවිතය අතහැර පුර්ණ කෘෂි ජීවිතයකට පිවිස ඇත. එහෙත් වැද්දෝ දඩයම් නොකරන්නෝ ද, නොවෙති.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.